Breaking News

ආණ්ඩුවේ කුලපති පත් කිරීමේ ක්‍රියාවලියට මහා ශිෂ්‍ය සංගමයේ අප්‍රසාදය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා වසර දෙකකට වැඩි කාලයක් ගතවේ. විශ්වවිද්‍යාල විවෘත කිරීම් පිලිබඳ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තම දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් සිටී.එහි ආසන්නතම සිදු වීම් වනුයේ විශ්වවිද්‍යාල කුලපතිවරුන් හා උපකුලපතිවරුන් පත් කළ ආකාරයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත් කර ඇත. මෙම පත් කිරීම සිදු කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත් කිරීම් සමබන්ධ අප්‍රසාදයක් ප්‍රකාශ වෙමින් තිබියදීය. මෙලෙස අප්‍රසාදයක් ඇති වීමට මුලික වුයේ මෙම ස්වාන්මීන් වහන්සේලා පසුගිය කාල සීමාව තුල වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඉතා ලජ්ජා සහගත ලෙස පෙනී සිටීම හේතුවෙනි.

කුලපති තනතුර යනු කිසිඳු පරිපාලනමය බලයක් හිමි නොවන නමුත් ගරු තනතුරකි. විශ්වවිද්‍යාලය තුල සියලු පරිපාලනමය බලය සහිත උපකුලපති තනතුර පත් කිරීම් පවා පසුගිය කාලයේදී ආණ්ඩුව සිදු කරනු ලැබුවේ මෙතෙක් ඒ සඳහා පවතී සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිත ක්‍රමවේදයක් ඔස්සේය. ඒ සඳහා විශ්වවිද්‍යාල පාලක සභාවට තිබු සාපේක්ෂ ස්වාධීනත්වය අමු අමුවේ උල්ලංඝනය කරමින් උපකුලපති තනතුර පත් කිරීමට අදාලව දේශපාලන අධිකාරියට ඍජු මැදිහත් වීම් කළ හැකි ලෙස නව ක්‍රමවේදයක් ප්‍රතිපාදන කොමිසමේ 02/2020 චක්‍ර ලේඛය හරහා ඉදිරිපත් කරනු ලැබීය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෝජනා වන්නේ ඒ අනුවය. විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව නිර්දේශ කළ නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර වෙනත් නම් යෝජනා කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ එයට ආචාර්යවරුන් හා සිසුන්ගේ බරපතල විරෝධයක් එල්ල විය. නමුත් එවැනි විරෝධයන් පවා එල්ල වෙමින් තිබියදී පවා ආණ්ඩුව තම දේශපාලන න්‍යාය පත්‍රයට විශ්වවිද්‍යාල පද්ධතිය යට කරමින් සහ මිලිටරීකරණයට පාර කපමින් සිටී.

කුලපති තනතුර වැනි ගරු කටයුතු තනතුරක් එය පිරිනමන සම්ප්‍රදාය පවා උල්ලංඝනය කරමින් ආණ්ඩුව තමන් වෙනුවෙන් කඩේ යන්නන්න්ට දෙනු ලබන දොලපිදෙනියක් බවට පත් කර ඇත. කුලපති තනතුරට කිසිඳු පරිපාලනමය බලතලයක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය වැනි අවස්ථාවක මුලසුන දරනුයේ කුලපතිවරයා ය. එම නිසා මෙම පත් කිරීම සම්බන්ධයෙන් අපට නිහඬව සිටිය නොහැකි වන අත ඊට එරෙහිව දැඩි අප්‍රසාදය පළකරන්නෙමු.
මෙවැනි ක්‍රියා වලින් නැවත නැවත ඔප්පු වන්නේ ජනතා මතයක් කිසි විටෙකත් මායිම් නොකරන ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට විශ්වවිද්‍යාල පද්ධතිය යට කිරීමටත් මිලිටරීකරණයට එරෙහිවත් එක්ව සටන් වැඩිය යුතු බවයි.

ස්තූති.

මෙයට,

කොබෙයිතුඩුවේ සමිත හිමි,
සභාපති
මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය

leave a reply