Breaking News

වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

සුමිත් චාමින්ද

අප දැන් සිටින්නේ ක්වින්ටන් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ අවසන් ජවනිකාව සිහි ගන්වන ආකාරයේ දේශපාලනික නිමේෂයක් තුළය. බිල් සමග වන අවසන් සටනේදී බියට්‍රික්ස් ඔහුට මිත්‍යාමතික සටන් කලාවේ එන මාරාන්තිකම පහරක් එල්ල කරයි. එම පහරින් සිදු කෙරෙන්නේ ඇඟිලි තුඩුවලින් ප්‍රතිවාදියාගේ ශරීරයේ නිල පහක් තෙරපීමය. පහරකෑමට ලක් වන ප්‍රතිවාදියා පියවර පහක් ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී ගොස් ඔහු මරණයට පත් වේ. තමන්ට එල්ල වූ ප්‍රහාරයේ මාරාන්තික බව දන්නා බිල් සාමකාමීව හිඳගෙන බියට්‍රික්ස් සමග කෙටි පිළිසඳරක යෙදේ. ඉන්පසුව නැගිට පියවර පහක් ඇවිද යන ඔහු මරණයට පත් වේ.

ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේ වෛරසයේ ප්‍රහාරයට ලක්ව අප ගත කළ දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය බිල් බියට්‍රික්ස් සමග පිළිසඳරක යෙදුණු කාල පරිච්ජේදය සිහි ගන්වන්නක් බවයි. නිරෝධානය වෙමින් නිවෙස් තුළට වී සිටින කාලයේදී අපට අර්බුදයේ සැබෑ බරපතලකම නොදැනෙනු ඇත. නමුත්, රටවල් විවෘත කොට ක්‍රමය යළිත් පැරණි ආකාරයට ක්‍රියාත්මක වන්නට පටන් ගත් විට එහි හෘදය පිපිරී යනු ඇත.

ශිෂෙක් කියූ දෙය සමස්ත ගෝලීය ධනවාදී ක්‍රමයට අදාළව කොතරම් දුරට යථාර්තයක් වනු ඇත්දැයි යන්න විවාදිතය. (නිදසුනකට ශන්තාල් මූෆ් එලෙස නොසිතයි. ඇයට අනුව, ගෝලීය අර්බුදය විසින් නව වියහැකියාවන්ගේ ක්ෂේත්‍රයක් විවෘත කොට තිබේ. ඒ අතුරින් කුමන වියහැකියාව (possibility) සැබෑ හැකියාවක් (actuality) වන්නේද යන්න නිශ්චය වන්නේ දේශපාලනික අරගලයෙනි. කිසියම් වියහැකියාවක් සැබෑ හැකියාවක් කිරීමේදී සෙසු විය හැකියාවන් යටපත් කරනු ලැබේ. අප සැබෑ හැකියාවක් බවට පත් කරන්නේ කුමන වියහැකියාවද යන්න උපායමාර්ගික තෝරා ගැනීමකි. පශ්චාත්-මාක්ස්වාදයට අනුව උපායමාර්ග වලින් තොර දේශපාලනයක් පැවතිය නොහැක්කේ මෙනිසාය. මූෆ්ගේ මේ තේරුම් කිරීමට අනුව ශිෂෙක් “වසංගතය: කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී කතා කරන “ආපදා කොමියුනිස්ට්වාදය” යථාර්තයක් වීම හෝ නොවීම රඳා පවතින්නේ හෙජමොනික අරගලය මතය.

කෙසේ වුවත්, ශිෂෙක් කතා කළ “Kill Bill” සදෘෂ්‍ය වත්මන් ලංකාවේ අප පසුකරන දේශපාලන නිමේෂය තේරුම් කිරීමට නම් හොඳටම ගැලපේ. අද දින සිට රට යළිත් විවෘත කරන්නට පාලනාධිකාරය තීරණය කිරීම බිල් නැගිට පියවර පහක් ඇවිද යන්නට තීරණය කිරීම හා සමානය. බිල් ඇවිද ගියේ පියවර පහක් පමණි. වත්මන් අර්බුදයන්ගේ තීව්‍රතාව අනුව මේ පාලනාධිකාරයට 2024 දක්වා වුවත් නොවැටී ඇවිද යාමට හැකි වේදැයි සැක සහිතය. නිශ්චිතවම ඉදිරි කාලයේදී වඩා තීරණාත්මක වනු ඇත්තේ ජන අරගල දේශපාලනයයි. ගුරු අරගලයේ සහ ගොවි ජන අරගලයේ නැගීම වත්මන් සමාජ පීඩනයේ තීව්‍රතාව කදිමට සංඥා කරයි.

පුළුල් වෙමින් ඇති දේශපාලනිකයේ කලාපය ගැන සවිඥානක වූ හෙජමොනික ඒජන්තයින් කිහිප දෙනෙකුම දැනටමත් සටනට බැස තිබේ. ඔක්තෝබර් 29 වනදා විමල් වීරවංශ ප්‍රමුඛ මහජන මන්ත්‍රණ සභාව දොරට වැඩියේය. පසුවදා, එනම් 30 වනදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකය වැඩ ඇරඹීය. ඊට පසුවදා, එනම් අද දින ජනතා විමුක්ති පෙරමුණේ “ගමෙන් පටන් ගමු” වැඩේ පටන් ගනී.

මේ අතර තමන්ගෙන් දැනටමත් ගිලිහී ගොස් තිබෙන ජනප්‍රියත්වය ගැන දන්නා පාලනාධිකාරය යළිත් තම ජන්දදායකයින් ඉදිරියට යන්නට හදන්නේ සුපුරුදු අනුග්‍රාහක දේශපාලනය ශක්තිමත් කරමිනි. මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන දේශපාලනික තර්කණය වන්නේ එයයි. මාර්ග සංවර්ධනය සඳහා මේ සා විශාල මුදලක් වෙන් කිරීමේ ප්‍රායෝගිකත්වය එපමණකි. ඉදිරියේදී පාලක පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයින් හරහා මුදල් පහලට ගලා යන්නට සැලැස්වීමේ බැසිලියානු දේශපාලනය වේගවත්ව ක්‍රියාත්මක වනු ඇත.

දැන් වාම-ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන්ගේ මූලික අවධානයට ලක් විය යුතු උපායමාර්ගික ප්‍රශ්නයක් වන්නේ මෙම අනුග්‍රාහක දේශපාලනයේ රාමුව තිරසාරව බිඳ දමන්නේ කෙසේද යන්නයි. තමන් හමුවට එන අනුග්‍රාහක දේශපාලකයාගේ “ටකරම් දේශපාලනය” ප්‍රතික්ෂේප කරන ජන්දදායකයෙකු ගමේ සහ නගරයේ නිර්මාණය කරන්නේ කෙසේද? ජාතික ජන බලවේගය මෙතෙක් කල්පනා කළ පරිදි ලිබරල් යහපාලනවාදය දේශනා කිරීමෙන් මෙය කළ නොහැක.

මිනිසුන් දෘෂ්ටිවාදයට වියුක්තව බැඳෙන්නේ නැත. මිනිසුන් දෘෂ්ටිවාදයක් වැළඳ ගන්නේ පාර්ශ්වීය වස්තුවක් ඔස්සේය. ලැක්ලාවියානු පශ්චාත්-මාක්ස්වාදී පාසැලේ කැපී පෙනෙන න්‍යායවේදියෙකු වන ජේසන් ග්ලයිනොස් “දෘෂ්ටිවාදී ග්‍රහණය” (ideological grip) නමැති සංකල්පය ඔස්සේ මෙය කදිමට පහදයි. ශ්‍රී ලංකාවේ වාම දේශපාලනයට එයින් ඉගෙන ගත යුතු වැදගත් න්‍යායික පාඩමක් තිබේ. අප ජනතාවට පිළි ගන්වන කතාන්දරය කොතරම් මනා සංගතභාවයකින් යුක්තව රචනා කර තිබුණද ඔවුන් එම කතාන්දරය විශ්වාස නොකරන්නේ ඇයි? ලැකානියානු මනෝ විශ්ලේෂණ න්‍යායේ ආභාසයෙන් ග්ලයිනොස් පෙන්වා දෙන්නේ කතන්දරයක් විශ්වාස කරන්නට නම් එම කතාන්දරය හා අපව සම්බන්ධ කරන පාර්ශවීය වස්තුවක් පැවතිය යුතු බවයි.

හෙජමොනික දේශපාලනයේදී වම අසමත් වන්නේ මන්දැයි වටහා ගැනීමේත් එම අසමත්කම ජය ගැනීමේත් න්‍යායික යතුර ඇත්තේ මෙතැනය. අප යෝජනා කරන ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයේ මග වැටී ඇත්තේද එදෙසිනි. මේ ගැන වඩා විස්තීර්ණ ලෙස ලියන්නට ඉදිරි කාලය කැප කරමි. මේ ඉතාම හදිසි සටහනක් පමණි.

 

leave a reply