Breaking News

සුජීව අමරසේන උපකුලපති ඇතුළු පරිපාලනයේ තකතීරු තීරණ සිසු ජීවිත අනතුරට හෙලයි .

සුජීව අමරසේන උපකුලපති ඇතුළු පරිපාලනයේ තකතීරු තීරණ නිසා රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ නේවාසිකාගාර තුළ covid 19 ව්‍යාප්ත වී සිසු ජීවිත අනතුරට පත්වෙයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නේවාසිකාගාරයේ සිසුන් අතර වේගයෙන් කෝවිඩ් 19 වසංගතය පැතිරෙමින් පවතී. මේ වන විට සිසු සිසුවියන් 23 ක් ආසාදිතයන් බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. රෝගය වැලදී ඇතැයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු නොවුනද රෝග ලක්ෂණ සහිත සිසුන් විශාල ප්‍රමාණයක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව නේවාසිකාගරයේ රඳවා ඇත.

විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස වසංගතයේ ගොදුරු බවට පත්ව ඇත්තේ උපකුලපති සුජීව අමරසේන ඇතුළු පරිපාලනයේ අත්තනෝමතික අදූරදර්ශි වැඩපිළිවෙල හේතුවෙනි. සිසුන් කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තරම් සුදුසු සෞඛ්‍යාරක්ෂිත පහසුකම් විශ්වවිද්‍යාලය තුළ ඉදි කිරීමට පරිපාලනය අපොහොසත්ව සිටී.

සරසවි වසා දමා දෙවසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් සරසවි විවෘත කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. විශ්වවිද්‍යාල සඳහා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීමට ප්‍රතිපාදන වෙන් කෙරුණේද නැත. මෙවන් මොහොතක කළ යුතු වන්නේ වසංගත අවදානම පිළිබඳ සලකා අතිරේක ප්‍රතිපාදන වෙන් කරමින් විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර සිසුන්ගේ අධ්‍යයන කටයුතු යථාවත් කිරීමයි. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව සිදු කළේ වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණයත් 40% කින් කප්පාදු කර දැමීමයි.

විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත්, ඒ සඳහා පිළිගත හැකි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකසන ලෙසත් පසුගිය කාලය පුරා සිසුන් විසින් සිදු කළ බලකිරීම් හේතුවෙන් සරසවි ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සිදුවිය. නමුත් ඒ සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැත. මීට පෙර ද වෛද පීඨය තුළත්, වැල්ලමඩම පරිශ්‍රය තුළත් සිසුන් මෙලෙස වසංගතයට ගොදුරු වීමට ඉඩ හැරි අතර සිසුන්ට නිසි ආරක්ශාවක් සැපයීමට පරිපාලනය අපොහොසත් විය.

උපකුලපතිවරයාට අවශ්‍යව ඇත්තේ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම හෝ අධ්‍යයන කටයුතු යථාවත් කිරීම හෝ නොවේ. ඔහුට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව විසින් ලබාදෙන ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉටු කොට හොඳහිත දිනාගැනීමයි. දැනටමත් ආචාර්යවරුන්ගේ, සිසුන්ගේ, අනධ්‍යයන සේවකයන්ගේ අප්‍රසාදයට ලක්ව සිටින සුජීව අමරසේන උපකුලපතිවරයාට මාස කීපයකින් එළඹීමට නියමිත නිලවරණයෙන් නැවත උපකුලපති ධූරයේ වැඩභාරගත හැක්කේ ආණ්ඩුවේ ආශීර්වාදය සහිතවය. කිසිදු සෞඛ්‍යාරක්ෂිත සූදානමකින් තොරව තාක්ෂණ පීඨයේ සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා විභාග කටයුතු ආරම්භ කළේ උපකුලපතිවරයාගේ මෙම බල උවමනාව සංතෘප්ත කරගැනීමටය. ප්‍රශ්න ඉදිරිපත් කරන සිසුන් විනය ක්‍රියාමාර්ගවලට ලක්කරමින් බිය වද්දා ප්‍රාණ ඇපයට තබාගනිමින් සිදු කරන සුජීව අමරසේන උපකුලපතිවරයාගේ බල සෙල්ලම සිසු ජීවිත සඳහා වගකිව යුතුය.

වගකීම කෙසේ වෙතත් පසුගිය දින වල විනය පාලකවරයා ප්‍රථම වසර සිසන්ට zoom සාකච්ඡාවක් කැදවා එම සිසුන් අතර බුද්ධි අංශ නිලධාරීන් සිටින බවත් එම සිසුන් පිළිබඳව තොරතුරි ලබා ගන්න බවත් සදහන් කළහ. නමුත් මෙවැනි අවස්ථාවක සිසුන්ට අඩුම තරමින් ආහාර පාන සැපයීමට පවා පරිපාලනය අපොහොසත් වී ඇති අතර ආපන ශාලව මගින් ණය පදනම මත් නිරෝධායනය වන සිසුන්ට ආහාර ලබාදීම සිදු කරයි. උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය විසින් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නව කෝව්ඩ් පොකුරක් නිර්මාණය කරමින් සිටී. පරිපාලනයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය ඉදිරියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. වසංගතය හේතුවෙන් ජීවිත අවදානමත්, එම ගැටලු කතා කිරීම හේතුවෙන් ශිෂ්‍යභාවය අහෝසි වීමේ අවදානමත් සිසුන්ට අත්විඳින්නට සිදුව ඇත.

විශ්වවිද්‍යාල විවෘත කිරීම කළ යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත. වසා දමා තිබීම හේතුවෙන් වසර එක හමාරක් පුරාවට සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩාකප්පල් වී ඇත. නමුත් විශ්වවිද්‍යාල විවෘත කිරීම කළ යුත්තේ නිසි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් යටතේ සැලසුම් සහගතවය.වෙනත් විශ්වවිද්‍යාල වල යම් තරමකට හෝ සෞඛ්‍ය ආරක්ෂා ගැන සිතා පහසුකම් ලබාදෙනු දැක ගත හැකි විය.

නමුත් රුහුණ තාක්ෂණ පීඨයේ මෙම ගැටලුව පැමිණ ඇත්තේ කිසිඳු සැලසුමකින් තොරව ආණ්ඩුවේ හොඳහිත දිනාගැනීමට විශ්වවිද්‍යාලය විවෘත කිරීමට යාමෙනි. එක් පසෙකින් කිසිඳු සෞඛ්‍යාරක්ෂිත සැලසුමකින් තොරව මෙලෙස සිසු ජීවිත අවදානමේ හෙළීම තවදුරටත් සරස විවිවෘත නොකර තබාගැනීමට සිදු කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්ද යන්නත් සැකකටයුතුය. දැන්වත් සිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම විශ්වවිද්‍යාල පරිපාලනය විසින් භාරගත යුතුය. සුජීව අමරසේන වැනි මනෝ ව්‍යාධිකයින් බල පුටුවල හිඳුවා තම දේශපාලන ව්‍යාපෘති විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඇතුළු ආණ්ඩුව මේ පිළිබඳව වගකීම භාරගත යුතුය.

leave a reply