Breaking News

ගිනි වැදුණු පියාපත් – සඳරැසි සුදුසිංහ

නිරෝෂ ප්‍රනාන්දු

කිවිඳිය, යාපන පුස්තකාලය ගිනි තැබූ වසරට වසර කිහිපයකට පසුව, දකුණු ලංකාවේ මාතර උපන්නියකි. ඇය මාතර වෙරළේ හෝ උයනක හෝ තම කාමරයේ ලියන මේසය මතට වී යාපනය හිතින් මවාගෙන මේ කවි නොලිව්වාය. පැය ගණන් ගෙවාගෙන මාතර සිට යාපනයට දුම්රියේ ගමන් කළාය. පුස්තකාලයට ගියාය. එහි මිනිසුන් හමු වූවාය. ඔවුන්ගෙන් පැරණි පුස්තකාලය පිලිබඳව නොයක් කතා අසා දැන ගත්තා ය. එකල පුස්තකාලය හා බැඳී සිටී පිරිස් හමු වූවාය. දැනට විදේශගත අය හා සම්බන්ධ වූවාය. ඔවුන්ගේ අත්දැකීම් වින්දාය. සිතුම් පැතුම් තේරුම් බේරුම් කරගත්තාය. සිංහල සමාජයේ උගතුන් වියතුන් හා සංවාද විසංවාද කළාය. ඒ අයුරින් සිය ගණනක් කවි සිත්තම් මත ප්‍රාණ වායුව පිම්ඹාය. නැවත නැවත හැදුවාය. එසේ පණ ගන්වන්නට බැරි කවි නොවූ කවි ද විසාල ප්‍රමාණයක් ඉවත දැම්මාය. එසේ වසර ගණනක දුෂ්කර ක්‍රියාවලියකට පසුව “ගිනි වැදුණු පියාපත්” එකතු කර ඔබට සංග්‍රහා කරණු පිණිස සූදානම් කළාය.

ගිනිතබා විනාශ කර නැවත පිහිටවූ යාපනය පුස්තකාලය තේමාකරගත් කාව්‍ය නිර්මාණ 110 න් යුතු කාව්‍ය “ගිනි වැදුණු පියාපත්” කාව්‍ය සංග්‍රහය, සඳරැසි සුදුසිංහ නම් මානව හිතවාදී තරුණ කිවිඳියගේ දෙවන මුද්‍රිත කාව්‍ය සංග්‍රහයයි. මෙහි ඇතුළත් කවි සියල්ල ඇය , තිඹිරිගෙය, මළගම, මතක බණවර. ස්මෘති, පුනරාගමනය ආදී කොටස් පහකට බෙදා වෙන් කර දක්වන්නීය. ඒ ආකාරයට ඇය උතුරු “ආසිරි තිලකයකි ලක නළලත දුලන” යනුවෙන්ද “යාල්පානම් සීදනම්” (යාපනයේ දෑවැද්ද) ලෙසද තවත් වරෙක යාල් “පානම් බුදුන්” ලෙසද හඳුන්වන යාපනය පුස්තකාලය මුලුමහත් ශ්‍රී ලංකාවට ම කෙතරම් වැදගත් වී දැ යි එය මිනිස් ජීවිතය හා කෙතරම් තදින් බැඳී තිබුණි දැ යි කාව්‍යාත්මක ව ප්‍රකාශ කරන්නීය. කවි පොත පුරාවටම ඇත්තේ පුස්තකාලය පිලිබඳව අභිමානය, ශෝකය හා වේදනාව ය හෙවත් භාෂා මායිම් රේඛාවෙන් වෙන්කර අපට අමතක කර වූ අතීත කළු පැල්ලමක කම්පනය යි.

තිඹිරිගෙය තේමාව යටතේ හමුවන අවසන් කවියේ අවසන් පද කොටස තුළ අපට ඇසෙන්නේ යාපන පුස්තකාලය වෙත ඇති කිවිඳියගේ දයාබරත්වය යි. ඇය යොදා ගන්නා “ලෝකයේ සියලු තතු මට කියා යන” “සාම අඩයාලම” ශ්වේත වර්ණය” දාගැබක් සේ බැතින” යන වදන් තුළ නින්නාද නගන්නේ සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම හෘදයාංගම ප්‍රාර්ථනය, එකී දයාබරත්වය බවට පත් වෙන අනාගත දවසක් කෙරෙහී ඇය තුළ දැල්වෙන බලාපොරොත්තුව යි.

” වලා බඳ සමග නිති
කතා බස් කරන සඳ
ලෝකයේ සියලු තතු
මට කියා යන ලෙසින
මම ඉඳිමි පොත්ගුලට
තරු ඇසක් වී පෙමින්
සාම අඩයාලමව
ශ්වේත වර්ණය සමග
දාගැබක් සේ බැතින” (10)

“මරණයේ වේදනාව මිය ගිය ඔබට නොව ජීවත්වන අපටය” යන යෙදුම මළගෙවල් අවට තාප්ප හා වැටවල් අරා එල්ලෙන බැනරයන් මත බහුල වශයෙන් දක්ක්නට ලැබෙන වාක්‍ය ඛන්ඩයකි. හිතෙෂියන්ගේ මරණය ජීවත් වන්නන් විවිධ අයුරින් විද දරා ගනිති. ඇතැමෙක් එවන් මරණයක් නොවූ බවට සිතමින් විවිධ දෑ උපකල්පනය කරමින් තම සිත රවටා ගන්නට උත්සහා කරති. කෙනෙක් කෑ මොර දී හඬනු ඇති අතර ඇතැමෙක් දීර්ඝ නිහැඬියාවක ගිලෙති. කෙනෙකු මිය ගිය තැනැත්තා සමඟ බැඳී තමාගේ මතකයන් ස්මරණය කරන අතර තව කෙනෙක් ඒ ස්මරණයන් ‍රස කරමින් අන් අය හා පවසමින් තම දුක තුනී කර ගනිති. කෙනෙක් මිය ගිය කෙනා හා බැදී මතක වස්තු තම දසුනින් ඈත් කරන අතර වෙනත් කෙනෙකු ඒ සියල්ල ම දැඩි ආදරයකින් එකතු කරගෙන රැක බලා ගනිති. මේ කුමණ ආකාරයක චර්‍යාවක් හරහා හෝ ඔවුන් උත්සහා කරන්නේ තම හිතේෂියා මිය ගිය වේදනාව සමනය කර ගැනීමට බව සත්‍යයකි. මේ කවි මංජුසාවේ “මළගම” යන තේමාව යටතේ අපට හමුවන කවි සිතුවම් ඉහත කී සියළු ලක්ෂණ විදහා පෙන්වන්නේ, අපට මේ උත්තරීතර පොත් ගුල නැති වීමේ ශෝකය සමනය කරගනු පිණිසය.

කිවිඳියට යාපන පුස්තකාලය ගිනි ගන්නා බව ඇසීම වනාහී ජීව්තයේ අසන්නට ලැබුණ දුක්බර ම අසුබ කතාවයි. ඇය එය නින්දෙන් දුටු අසුබ සිහිනයකට ලඝු කරන්නට නිෂ්ඵල වෑයමක නිරත වෙයි.

” ජීව්තේ තුක්කම අමංගල් ශබ්දම්
ඒ පාන්දර ඇහුණේ
“එරිකිරිදි යාල් පෝටු නූලකම්”
කොහොම ඇහුණාද එය
තවම නින්දේ ද ඉන්නේ” (11)

තවත් තැනෙක ඇය මෙසේ අසන්නීය

“ඊඩිපස් ගිය මගම
යනු පිණිස හිත හදන්
මකන්නෙමි ඒ දිනය
ඉරා දින දසුනද” (12)

ඊඩිපස් රජු යනු තම පියා මරා දමා තම මවට ද සාපරාධි පාපයක් සිදු කළ කෙනෙකි. හෙතෙමේ තම වරද වටහා ගත් පසුව තමාට ම දඬුවම් පිණිස සිය දෑස් අන්ධ කරගත්තේය. ජාතියක් සතු පුස්තකාලයක් ගිනි තබා විනාශ කිරීම වනාහී, තම මවට හා පියාට පමණක් නොව සමස්ත මනුෂ්‍යවර්ගයාට එරෙහිව කළ අවැඩකි. එය ඊඩිපස් කළ වරදට කිසිසේත් ම දෙවෙනි නොවේ. කිවිඳිය ඊඩිපස් චරිතය මේ කවියේ දී මතු කිරීම මනාව ගැලපෙන සංකේතයක් චිරන්තන සාහිත්‍ය ඇසුරින් තෝරාගැනීමකි.

ඒ අවාසනාවන්ත රාත්‍රිය පිළිබඳව පුස්තකාල පොතක් අපට කියන කතාව මෙවැනි ය.

වෙනද වාගෙම අතින් අත ගොස්
නෙතු අතර හුරතල් වුණා මම
රාක්කයේ සැතපුණේ රෑ මැද
ආයෙමත් ඇහැරෙනු හිතාගෙන

ඉසිඹුලන්නට සිතා වැසු නෙත
අවදි වූවේ මහ විලාපෙක
මොහොතකින් ගිනි දැල් ළඟාවිය
කිණිහිරක් මැද තැළී යන ලෙස.

සහෝදර පොත් හුස්ම හිරවී
ඇස්ද උඩගොස් හිරිවැටුණ කල
සිහිය නැති වුණු නිසාවෙන් මට
ඉතිරි සිද්ධිය නිච්චි නැති විය

පාන්දර සයිරන් නළා හඬ
සමඟ මම ඇහැරිලා බැලුවා
අනේ දෙවියනි අපේ පවුලම
නිදි ඇදේ අළුවෙලා සිටියා. (32)

මේ කියන්නේ එදා සිදුවූ විපතේ ප්‍රමාණය නොවේද?

සාමා අමර සේම
කන්නගී කෝවලන්ද
සඳ කිඳුරි හා කිඳුරාද
මිහිදන් විය
එකම දවසක
එකම තැනක
එකම ගින්නක (39)

“මතක බණවර” තේමාව යටතේ මා වඩාත් සංවේදී වූ කවි සිත්තම මෙය යි. (පොත අතට ගෙන පෙරළු සැණින් මා නෙත නතර වු තැණ වූ කවිය ද මෙය යි.)

“හෝමෝ ඉරෙක්ටස් වෙමි
ඉඳගෙන
ගාන්ධි පාරේ කෙළවර
උදේ හවස විඳවමි
තැවෙමි
ගින්දර සොයාගත් වරදට” (55)

මහත්මා ගාන්ධි ගේ අවිහිංසාවාදී ගමන් මග අග, ගින්දර සොයාගත් වරදට විඳවන හෝමෝ ඉරෙක්ටස්ගේ සිතුවම මානව වර්ගයාගේ කිනම් චර්‍යාවක්, පැවැත්මක් ඊනියා මානව ප්‍රේමයක් අපට ප්‍රකාශ කරයි ද?

වසර දෙදහස් පන්සියයක් අඛණ්ඩ ශිෂ්ඨාචාරයක් ගැන පාරම්බාන ලොවෙන් උතුම් ජාතිය ගැන කියවෙන මේ කවිය බලන්න.

“බුදු විසූ සමයේද
අකුරු ලිවූ අපි
මහින්දාගමනයටත් පෙර
අකුරු දැන උන් අපි
මහා සංස්කෘතියක
අයිතිය ලියා ගත් අපි
මූණ එක්ක තරහට
කපා ගත්තේද නහය” (62)

“ස්මෘති” තේමාව යටතේ අපට හමුවන්නේ යාපන පුස්තකාලය හා බැදුණ චරිත පිළිබඳව මතකයන් හා ස්තූතිකිරීම් ය.

“පුනරාගමනය” යන තේමාව කිවිඳිය වෙන්කරන්නේ, සුදු නෙළුම් ව්‍යාපාරයෙන් “පොතයි ගඩොලයි” සංකල්පය යටතේ ගිනිගත් යාපන පුස්තකාලය නැවත ගොඩනැගීමේ ව්‍යායාමය පිළිබඳව සංවාදයක් වෙතය.

ප්‍රතිසංස්කරණ කටයුතු අවසානයේ කිරි උතුරුවා නව ගොඩනැගිල්ල වෙත උතුරු දකුණු මිත්‍රත්වය සුබ මොහොතින් ඇතුළුවන්නට ඇත. ඒ මොහොතේ පවා පුස්තකාල බිත්ති බියෙන් බීරාන්තව වෙව්ලුවේ නැතැයි අප කියන්නේ කෙසේ ද?

” අලුතින්ම සළු පැලඳ ගෙට ගෙවැදීමට
එළඹුණිද දවසක් සුබ නැකතක් සමඟ
බියකි හිත තාමත්
දල්වන්නට ගිනි කූරක්
කිරි උතුරවන්නට වූවත්” (100)

කෙසේ වෙතත් අතීතයේ ඛේදවාචකයන් මත ම එල්ලී නො සිට ෆීනික්ස් කුරුල්ලෙකු සේ අළු මතින් ඉගිල ලොව දිනා ගත යුතු බව කිවිඳිය අපට පවසන්නී ය. ඇය උතුරේ පුතුන්ටත් දකුණේ පුතුන්ටත් එක සේ ආරාධනා කරන්නේ මේ රට වෙනස් කරන්නට ය. මනුසත් බවේ ප්‍රේමාගිනිය දල්වන්නට ය. 109 හා 110 කවි සිත්තම් පවසන තේමාව එය යි සිතමි.

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply