Breaking News

රනිල්, නිදහස් අධ්‍යාපනයට අත තියපු අයට වෙච්චි දේ අමතකද?

ශිෂ්‍යන් සහ රටේ පොදු ජනතාව එක්ව දීර්ඝ අරගලයකින් පසු පරාජය කරන ලද සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවත කරළියට ගෙන ඒමේ වෑයමක් පවතින බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවලින් හෙළිවිය. එම සාකච්ඡා හරහා තේරුම් යන්නේ සයිටම් ආරම්භ කිරීමට වඩා ආණ්ඩුවට මේ මොහොතේ පවතින පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතට අධ්‍යාපනය ද ඇතුළත් කරගැනීමට නියමිත බවයි.

පාර්ලිමේන්තුවේ පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇතිවූ සාකච්ඡාව අතරතුරදී අද දින සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක පැවසීය.
මෙම අවස්ථාවේ ඒ ගැන සංවාද කිහිපයක් ම ඇති වූ අතර ජනාධිපතිවරයා හා පක්ෂ-විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුම ඒ පිළිබඳ අදහස් දැක්වු අතර සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබී ඇති බවත් ඕනෑ නම් එය යළි විවෘත කළ හැකි බවත් එස්.බී.දිසානායක කීය.”තමුන්නාන්සේලා කැමැති නම් අපි ආයෙත් සයිටම් පටන් ගමු” යනුවෙන් එස්.බී.දිසානායක පැවසීය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම ගැන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ද සිය කැමැත්ත පළ කරන ලදි.
ජනපති රනිල් කියා සිටියේ ශ්‍රී ලංකාව විදෙස් සිසුන්ට මුදලට අධයාපනය දෙන කලාපීය මධ්‍යස්ථානයක් කළ හැකි බවයි.

මෙහි පෙනන්නට තිබෙන අනෙක් විශේෂිත කරුණ වන්නේ පෞද්ගලීකරණය වැනි කාරණාවකදී පක්ෂ විපක්ෂ සියලු දෙනා සිටින්නේ එකම බෝට්ටුවක බවයි.

මෙහිදී රනිල්ට අමතක වූ දෙයක් නැවත මතක් කිරීමට සිදුවේ. ශිෂ්‍ය ව්‍යාපාරය සහ රටේ පොදු ජනතාව එක්ව සයිටම් පරාජය කරනු ලැබුවේ රනිල් අගමැති ධූරය දැරු යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ අවස්ථාවේ රනිල්ට කළ හැකි දෙයක් නොතිබූ අතර පරාජය බාරගෙන නිහඬවන්නට සිදුවිය. ඉන්පසු පැවති මැතිවරණයේදී යහපාලන රජය පරාජයට පත්වීමට අදාළව සයිටම් සටනද යම් තරමකට හේතු විය. ඊට අමතරව යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ධූරය දරමින් සයිටම් ගොඩදැමීම වෙනුවෙන් වැඩකළ රාජිත සේනාරත්නට මහ මැතිවරණයේදී ඇපත් නැතිවිය.

එසේම තවත් ඈතට ගියහොත් 1981 දී රනිල් අධ්‍යාපන ඇමතිවරයාව සිටි එජාප ආණ්ඩුව විසින් ගෙන එන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලය ඉදිරියට ගියේ තරුණ රැසක් පූජා කරමිනි.

ඉතා මෑතදී ගෝඨාභය ආණ්ඩුව ගෙදර යැවීමට අදාළ විශේෂ සංධිස්ථානයක් සටහන් වූවේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට පමණක් නොව මිලිටරීකරණය කිරීමටද සූදානම්ව ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල පනතට එරෙහි සටනයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයට අත තැබීම යනු ආණ්ඩු ගෙදර යවන මාරාන්තික කාරණයක් බව රනිල් වික්‍රමසිංහ මතක තබාගත යුතුය.

අවසන් වශයෙන් රනිල්ට කීමට ඇත්තේ ‘හැප්පිලා බලමු’ යන්නයි.

leave a reply