Breaking News

දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය නිල සංඛ්‍යා ලේඛණවලට වඩා වැඩියි – සෞඛ්‍ය විශේෂඥයන් පවසයි

ඊයේ දිනයේ කොවිඩ් මරණ 161ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6000 ඉක්මවා ගොස් තිබේ.

රජයේ සංඛ්‍යා ලේඛණ අනුව ගෙන බැලුවද පසුගිය සතිය තුළ පමණක් 1000ට ආසන්න කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් මරණයට පත්ව තිබේ. එසේම එම සංඛ්‍යා ලේඛණවලට අනුවම සතියක් තුළ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 21000 ඉක්මවා යයි.

නමුත් වාර්තා වෙන ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිබව දැනට දිස්ත්‍රික්ක මට්ටමින් වාර්තා වෙන තොරතුරු අනුව පැහැදිලි වේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් සිය සමාජ මාධ්‍ය ජාල ගිණුමේ දක්වා ඇති පරිදි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දත්ත අනුව ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2270ක් වාර්තා වී තිබේ. නමුත් රජයේ දත්ත පැවසූ ආකාරයට ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3152කි.

එපමණක් නොව වාර්තාගත කොවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාස වල මිය ගිය පුද්ගලයන් සහ රෝහල් ගත කරද්දී මිය ගිය පුද්ගලයන්යැයි ද, එයින් ගම්‍යවන්නේ ආසාදිත මරණවලින් 20%කට ආසන්න පිරිසක් නිවෙස්වල සිටි පිරිස් බව යැයි ද සෞඛ්‍ය අංශ කියයි.
එමෙන්ම කොවිඩ් ආසාදිතයන්ගෙන් විශාල පිරිසක් නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණයක් නොමැතිව සිටීම බරපතල තත්ත්වයක් බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

MediaLK වෙබ් අඩවිය වාර්තා කරන පරිදි පසුගිය අගෝස්තු 06 වනදා වන විට පැවැති දත්ත අනුව මරණ 980ක්ම නිවාසවල සිදුවූ මරණ හෝ රෝහල් ගත කරද්දී සිදුවූ මරණ බවයි. අගෝස්තු 06 වැනි දා වන විට රෝහල් ගත කර සිටියදී මිය ගිය ගණන 3939කි. අගෝස්තු 06 වැනි දා වන විට රෝහල් ගත කර සිටියදී මිය ගිය ගණන 3939ක් ලෙස රජයේ සංඛ්‍යාලේඛණ වාර්තා කර තිබේ. නමුත් සත්‍ය ලෙස මිය ගිය ගණන මේ අනුව 4919ක් විය යුතුය.

එසේම එම වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි අගෝස්තු 06 වැනිදා දක්වා වාර්තාගත තොරතුරුවලට අනුව කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබා ගත් 25 දෙනෙකු ද, එක් එන්නතක් ලබා ගත් 202කු ද මියගෝස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජූනි 06 දිනැති සංශෝධිත මාර්ගෝපදේශයෙන් පසු ඇතැම් රෝහල්වල කොවිඩ් ලක්ෂණ නොමැතිව මිය යන රෝගීන්ට පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බව ද රෝහල් ආරංචිමාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3000 -3500 අතර ප්‍රමාණයක් බව නිල සංඛ්‍යා ලේඛණ පැවසුවද එම ප්‍රමාණය 30000ක් පමණ වෙතැයි වෛද්‍ය විශේෂඥයෝද පවසමින් සිටියි.

මේවනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර උපුටා දක්වමින් rata.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

 

 

leave a reply