කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.

Date:

මම මේ කවිය ලිව්වේ 2017 අවුරුද්දේ දෙසැම්බර් 13. හරියටම අදට අවුරුදු 4කට කලින්. ඉන්දික ගුණවර්ධන කියන්නේ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව කෙනෙක්’ නෙමෙයි, ‘කවියෙක්’.

කාලාන්තරයක් තිස්සේ විටින් විට අපි දෙන්නා බොහෝ දේවල් කතා කර ගත්තා. හම්බ වෙන විදිහ, වැලඳ ගන්න විදිහ, කරටි කඩා ගන්න විදිහ, හිනා වෙන-අඬන විදිහ… මේ හැම දෙයක්ම. මට ඔහුට කියන්න තියෙන්නේ මෙච්චරයි. “කොල්ලෝ, කතා කර ගත්ත දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි.”

මට අනුව ඉන්දික ගුණවර්ධන තමයි ෆේස්බුක් කවියේ පුරෝගාමියා. ඔහුට පෙර මේකේ කවි ලියපු අය ඉන්න පුළුවන්. නමුත් අපට ‘සෞන්දර්යය ප්‍රීතිය’ අත්පත් කර දෙන කවියක් ෆේස්බුක් එක හරහා අපේ මුහුණු අබියසටම අරන් ආවේ ඉන්දික. ඔහු 2010 මුලින්ම පළ කරපු ‘හිතේ කෙටූ ටැටූ’ ඒ වර්ගයේ එතෙක් මෙතෙක් පළ කෙරුණු හොඳම පොත. ඉන්දිකව අනුකරණය කරන්න බොහෝ අය උත්සාහ කළත් ඒ අය කෙරෙන් ‘කවිය’ මතු වුණේ නැති බවයි මගේ පුද්ගලික නිරික්ෂණය.

ඒකට බරපතළ හේතුවක් තිබුණා. ඉන්දිකගේ කවිය කියන්නනේ ඔහුගේ ජීවිතයේම පරාවර්තනයක්. ඔහු මාතෘකා තෝර ගෙන කවි ලිව්වේ නෑ. ඔහු ගත කළ ජීවන මොහොතට සමාන්තරවයි ඔහුගේ කවිය මතු වුණේ. 2016 ඔහු පොත් දෙකක් කළා. ‘සිසිරයේ දිගු රැයෙක’ සහ ‘අවන්හල් බළල්ලු.’ මේ පොත් දෙකත් ඉන්දිකගේ ජීවිතයේම අවිච්ඡින්න නිමේෂ.

ඉන්දිකගේ කවිය ඔහුටම අනන්‍ය වුණා වගේම ඔහුගේ ජීවිතයත් ඔහුටම අනන්‍යයි. ඒ ජීවිතය හරිම බරපතළයි; සංකීර්ණයි; ආදරණීයයි; සහෝදරාත්මකයි; එමෙන්ම විසංවාදීයි. ඔහුගේ හදිසි නික්ම යාමත් ඒ ජීවිතයේම රැඩිකල් ප්‍රකාශනයක්.

කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.

– සහෝදරයා ! –

පෙඳින් ඇසිපිය සැලුණ මොහොතක
සුසුම්ලන හදවත
හෙමින් පියමැන ගිහින් නවතියි
‘සැලුන් දොර’ අබියස

උඹට දැනුණෙද නොදැනුණාවෙද
අහස් ගව්වක දුර ?
රහස් රැව් දෙන සුසුම් අතරෙහි
දෑස් මඟහැරුණිද ?

වලාකුළු මත හිස තියා ගෙන
වේදනා උහුලන
කොහෙන් ඇවිදින් දෙතොල රැඳුණිද
ඇවිළෙනා මඳහස ?

සැහැල්ලුව මත කඳු ගසන්නට
පිරිත් හඬ මොකටද ?
රහත් සුවයෙක දෑස් ඇර ගමි
රහත් කවි පදයෙක

අලුත් මොකවත් නෙමේ තරු එළි
දෙසැම්බර අහසට
මටත් ඉල්ලුම් පතක් එවපන්
‘හිත කෙටූ’ ලිපිනෙට.

-මංජුල වෙඩිවර්ධන –
2017 දෙසැම්බර් 13

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...