Breaking News

ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසක් විසින් අරගලකරුවන්ට පහර දෙයි

ඊයේ(7/11) රාත්‍රියේදී අරලියග මන්දිරය තුළ කඳවුරු බැඳගෙන සිටින අරගලකරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් බරපතල කැපුම් තුවාල ඇතුළු තුවාල ලැබූ තරුණ තරුණියන් 5 කට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කර ඇත.

ජූලි 9 ජනතා නැඟිටීමෙන් පසු ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්‍යාලය යන ස්ථාන තුන ජනතාව විසින් අත්පත් කරගැණිනි. පොදු ජන අරගලයක් වන මෙය තුළ විවිධ දේශපාලන මත දරන පිරිස් මුල සිටම ක්‍රියාත්මක වූ නමුත් ඔවුන් සියළුදෙනා අතර එකඟතාවයකින් වැඩකටයුතු සිදුකරමින් සිටී.

නමුත් මැයි මාසයේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිධූරයෙන් පසු අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල් ගම” යන කඳවුරු බැඳීම මූලික වශයෙන් සිදුකරන්නේ මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ සෘජු මැදිහත්වීමෙන්, ඔහුගේ ආධාරකරුවන් විසිනි.

ජූලි 9 ජනතාව විසින් මන්දිර අල්ලා ගැනීමෙන් පසු, අරලිය ගහ මන්දිර පරිශ්‍රයට පිවිසි මෙම කණ්ඩායම ආරම්භයේ පටන් අනෙක් පිරිස්වලට සහ නැරඹීමට පැමිණෙන ජනතාවට බාධාවන අයුරින් ප්‍රචණ්ඩ හැසිරීමක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහි ආසන්නතම සිදුවීම ඊයේ පස්වරුවේ වෙනත් කණ්ඩායමක් සිටිනා ස්ථානයකට පැමිණ දුම්පානය කිරීමත්, කාමරයෙන් එළියට ගොස් එම කටයුත්ත සිදුකරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු තරුණියක් ඇතුළු සිව්දෙනෙකුට පහර දීමත්‍ ය.

අනතුරුව ඔවුන් හැර, අරලියගහ මන්දිරයේ දැනට සිටින සියළුම දෙනා එක්ව ඔවුන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම නවත්වන ලෙස ඉල්ලා සිට ඇති අතර, ඒ අවස්ථවේ පිහි, කඩු සහ පොරෝ රැගත් එම මැරපිරිස නිරායුධ ක්‍රියාකාරීන්ට පහරදී තිබේ.

මැයි 09 වනද ප්‍රහාරයෙන් පසු ජනාධිපති ගෝඨාභය යටතේ අගමැතිකම ගැනීමට සාකච්ඡා කළ, ජූලි 09 උදෑසන අරගල භූමියටද පැමිණි මන්ත්‍රී සරත් ෆොන්සේකා තම ආධාරකරුවන් යොදාගෙන මේ සිදුකරන්නේ කුමක්දැයි ජනතාවට පැහැදිලි කළ යුතුය. මෙතෙක් සාමකාමීව හා අවබෝධයකින් ඉදිරියට රැගෙන ආ අරගලයේ කලු පැල්ලම් ඇතිකිරීමට සමඟි ජනබලවේග මන්ත්‍රීවරයෙකුගේ මැරවරයන්ට මෙතරම් ඉඩක් ලැබුණේ කෙසේදැයි යන්න අප හට ඇති ගැටළුවකි.

එමෙන්ම මෙම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ගැටුමක් ලෙස සඳහන් කරමින් අසත්‍ය පුවත් සංසරණය වෙමින් පවතින අතර, අප කළ විමසීම් වලදී එම පක්ෂ දෙකෙහිම නියෝජිතයන් සහ අනෙකුත් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරන ලද අතර එහිදී සිදුවූයේ ෆොන්සේකාගේ ආධාරකරුවන් විසින් එහි සිටි සියළු දෙනාට පහරදීම බවත්, අනෙක් සියළු කණ්ඩායම් වල තරුණ තරුණියන් එම පහරකෑමට ලක්වූ බවත් සඳහන් කරන ලදී.

උපුටාගැනීම – ප්‍රතිවාද

 

leave a reply