Breaking News

පාසල්වලට තාක්ෂණික උපකරණ ලබාදීම බොරු මාධ්‍ය සංදර්ශනයක්!

අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් ආරාධිතයන් ඒ පරිගණක දරුවන්ට ලබාදෙන ෆොටෝ ගැසීමෙන් අනතුරුව නැවත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට තම දරුවන් රැවටීම පිළිබඳ දෙමව්පියන්ගේ විරෝධය එල්ල වී තිබේ. ඔන්ලයින් ඉගෙනගැනීමට දරුවන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම ගැන කතිකතාවතක් ඇතිවී තිබෙන මොහොතක ආණ්ඩුව පැවසුවේ තමන් මැදිහත්වී ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදෙන බවයි. ඒ අනුව රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් විවෘත කෙරෙන බැව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කර තිබුණි.

එ අනුව මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

එහිදී දරුවන්ට ඒවා ලබාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් පසු යන්ත්‍ර පහක් යළි රැගෙන ගිය බවත්, ඉතිරි කර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ සඳහන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන අයද මෙම උත්සවයට සහභාගී වී සිට ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක සිදුකර ඇත්තේ විමතිය දනවන ප්‍රකාශයකි. ඔහු පවසා ඇත්තේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක් සහ එක් ප්‍රක්‍ෂේපන යන්ත්‍රයක් පමණක් බවය. දොඩම්පාපිටිය පාසලේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිප දෙනෙකුට එම යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදවීමට ගුරුවරුන්ට භාරදුන් බව ද පාසලට ලැබුණේ ලැප්ටොප් පරිගණක පහක් පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් දස දෙනකුට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහාගත් දෙමාපියන් ගමෙහි වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු පවසා ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන ඔවුන් සතුටු විය යුතු බවයි.

මෙහිදී ආණ්ඩුවට වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් නොතිබීම හරහා දරුවන් රැසකට අධ්‍යාපනය ලැබීමේ වරම් අහිමිව ඇත. එවැනි තත්වයකට එරෙහිව ජනතාව තුළ විරෝධයක් මතුවිමේදී ආණ්ඩුව එයට පිළියම් යොදන බව පවසමින් සත්‍ය ලෙස සිදුකරමින් සිටින්නේ මේ ආකාරයෙන් මාධ්‍ය ඉදිරයේ ජනතාව රැවටීමයි.

leave a reply