Breaking News

78 සංශෝධනයට අන්තරේ විරෝධය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනය වැනසීම හා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම සඳහා 78 විශ්වවිද්‍යාල පනතට ගෙන ඒමට යෝජිත සංශෝධන වහා හකුළා ගන්නා ලෙසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔවුන් ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කරයි . කොතලාවල පනත සම්බන්ධව දැඩි විරෝධයක් සමාජය තුළ ගොඩනැගී තිබියදී ආණ්ඩුව හදිසියේ 1978/16 විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට සුදානම් වේ. එම සංශෝධනයවලට අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 වන දා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කර ඇත. මෙරට උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් 1978 වසරේ සිට ක්‍රියාත්මක වන, විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධව සාධනීය මැදිහත් වීමක් සිදුකරන පනතක් සශෝධනය කිරීම සිදුවන්නේ අවම වශයෙන් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ, ප්‍රවීණයන්ගේ අදහස් විමසීමකින් හෝ තොරව ය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ හිතලුවක් ලෙස කඩිමුඩියේ මෙම සංශෝධනය සිදුකිරීම ගැටලු සහගතය.

එම සංශෝධන අනුව පෙනී යන ප්‍රධානතම කාරණය වන්නේ කොතලාවල පනතට එරෙහි ජනතා විරෝධය නොමඟ යවා ඒ වෙනුවට සමස්ත අධ්‍යාපන පද්ධතියම පෞද්ගලිකකරණය හා මිලිටරීකරණය කිරීම සඳහා පාර කපාගැනීමට ආණ්ඩුව සුදානම් වන බවයි.

මෙම සංශෝධන අනුව මෙතෙක් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට අදාළ උසස් අධ්‍යාපන ආයතන ලෙස නාමකරණය කර තිබූ ආයතන පද්ධතිවලට අමතරව ‘විශේෂිත කාර්යයන් සඳහා වු විශ්වවිද්‍යාල’ ලෙස ආයතන පද්ධතියක් ඇතුළත් කර ඇත.

නමුත් මෙම නාමකරණය යටතේ පවතින විශේෂිත විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්නේ කුමන ආකාරයේ ආයතන ද යන්න පිළිබඳව කිසිඳු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර එම ආයතන නම් කිරීමේ බලය ඇත්තේ ඇමතිවරයාට ය. කොතලාවල පනත සම්බන්ධයෙන් බරපතල විරෝධයක් එල්ල වී තිබියදී කොතලාවල විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගැනීම සඳහා 78 පනතේ අඩංගු බාධාවන් ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව මෙම සංශෝධනය ගෙන ඒමේ ආසන්නතම ඉලක්කය කොතලාවල පනත ගෙන ඒමේ ඉලක්කය වූ අධ්‍යාපනය විකිණීම හා මිලිටරීකරණය කිරීමේ අරමුණ ඉටු කරගැනීම බව ඉතා පැහැදිලිය.

එසේම මෙම විශේෂිත කාර්යයන් සඳහා වූ විශ්වවිද්‍යාල යන නාමකරණය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ඇමතිවරයාගේ අභිමතය පරිදි රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ නීතිමය පසුබිම නිර්මාණය වේ. ඒ අනුව ප්‍රතිපාදන කොමිසම යටතේ ම අධ්‍යාපනය මුදලට විකුණන ආයතන පද්ධතියක් නිර්මාණය වීමේ බරපතල අනතුරක් මේ හරහා මතු වේ.

නිදහස් අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ බලතල මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතුව පවතී. එසේ නම් මෙවැනි සංශෝධනයක් හදිසියේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නිසා නොව අධ්‍යාපනය විකිණීම හා මිලිටරිකරණයට අදාළ නීතිමය පසුබිම සකස් කරගැනීමටයි. එනම් මෙම සංශෝධනයේ විශේෂිත අරමුණ වන්නේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණයයි.

කොතලාවල පනත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වඩා බලතල සහිත ඊට පරිබාහිර සමාන්තර මිලිටරි ව්‍යූහයක් ස්ථාපිත කොට එමගින් සිදුකිරීමට උත්සාහ කළ අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණය ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහාම සිදුකිරීමට ආණ්ඩුවට හැකියාව ලැබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අරමුණ ආරක්ෂක අංශ සාමාජිකයින්ට පුහුණුව හා මිලිටරි උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම නම් මේ වන විටත් එයට සිවිල් පුද්ගලයින් බඳවාගැනීම හා මුදලට උපාධි විකිණීම බරපතල ගැටලුවකි. එසේම ආරක්ෂක අංශ සාමාජිකයින්ට පුහුණුව හා මිලිටරි උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ විශේෂිත අරමුණ ඉටු කරගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලෙස පවතින්නේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට ස්ථාපිත ව්‍යූහයයි. ලොව කිසිදු රටක එවැනි ව්‍යූහයක් මිලිටරි ව්‍යූහයක් හා මිශ්‍ර කර පවත්වාගෙන යාමක් සිදු නො කෙරේ. එමගින් සිදුවන්නේ සිවිල් ව්‍යූහය මිලිටරි ව්‍යූහයෙන් යටපත් වීමයි. ආරක්ෂක අංශ සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන ව්‍යූහයක් තුළ පවත්වාගෙන යනු ලබන්නේ මිලිටරි විනයයි. ප්‍රශ්න කිරීම්, විරෝධය පල කිරීම් ඒ තුළ නොමැත. එවැනි විනයක් සිවිල් පුරවැසියන් සඳහා උසස් අධ්‍යාපනය ලබාදෙන ව්‍යූහයක පැවතිය යුතුයැයි ලොව කිසිඳු රටක පිළිගන්නා තත්ත්වයක් නොවේ.

එසේ නම් ආණ්ඩුව මේ උත්සාහ කරමින් සිටිනුයේ විශේෂිත කාර්යයන් සඳහා විශ්වවිද්‍යාල යන නාමකරණයට මුවා වී නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණය කිරීමටයි. මේ වන විටත් පවතින කොතලාවල විශ්වවිද්‍යාලය තුළ සිදුවන්නේ ද එයමය. ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා යැයි කියමින් මේ වන විටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ සිවිල් පුද්ගලයින්ට උපාධි මුදලට විකිණීම සිදු වේ.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත එළඹෙන අගෝස්තු 06 වන දා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසයි. මෙම පනත සම්මත වුවහොත් ඒ හරහා මෙරට උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රරය පමණක් නොව පාසල් පද්ධතියත් පෞද්ගලිකකරණයට හා මිලිටරීකරණයට ලක් වේ. එසේ ම විශ්වවිද්‍යාල පනතට ගෙන ඒමට යෝජිත සංශෝධනය හරහා ද එම අනතුරම පවතී. පැති දෙකකින්ම මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රරය පෞද්ගලිකකරණයට හා මිලිටරීකරණයට ලක්වීමේ බරපතල අවදානමක් මතුව තිබේ.
කොතලාවල පනත හරහා මතුවන ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටින විට 1978 විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් ඊටත් වඩා බරපතල අර්බූදයක් නිර්මාණය කරමින් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණය කිරීමට උත්සාහ කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර, නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හා 78 විශ්වවිද්‍යාල පනතට ගෙන එන සංශෝධන වහා හකුලාගන්නා ලෙස දැඩි අවධාරණයෙන් යුතුව කියා සිටින්නෙමු.

leave a reply