Breaking News

මේ නගරය ඔබ මා වෙන් කෙරුව නගරය යි.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න .

පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යයන්ගේ,සමාජ මාධ්‍යයන්ගේ මෙන් ම සාමාන්‍ය ජන විඤ්ඤාණයේ හැසිරීම පරීක්ෂා කරන විට පෙනී යන්නේ එය හුදු චීන විරෝධයකට ලඝු වී ඇති බව ය.එසේ ම එය චීන ජනයා,ඔවුන්ගේ බස හා සංස්කෘතිය සරල හාස්‍යයකට පටු කර ලබන විනෝදයකට සීමා වීම අතිශයින් අදේශපාලනික ය.
මෙකී විරෝධයේ ගර්භාෂය ගොඩනැඟෙනුයේ ජාතිකවාදය මත පදනම්ව ය.මාක්ස්මය ජාත්‍යන්තරවාදයට එකල පස්ස පැත්තෙන් සිනාසුණු ජාතිකවාදී දේශකයින් අද චීන විරෝධයේ මිත්‍යාව පෙන්වා දීමට දිගු ලිපි ලියමින් සිටින සැටි පෙනෙන්නට තිබේ.සිත් ගන්නා සුලු නිරීක්ෂණයක් වන්නේ එම ජාතිකවාදීන් සහ ඇතැම් වාමාංශික සිතන්නන් පවා එක පෙළකට සිට ගනිමින් චීනය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටීම ය.

මේ සියල්ලෙන් සිදු වනුයේ පෝර්ට් සිටියට අදාළව මතු කර ගත යුතු ගෝලීය ප්‍රාග්ධන හැසිරීමත් එමඟින් සිදු කෙරෙන සැබෑ ව්‍යවසනයත් පිළිබඳ සංවාදය සැඟව යාම ය;එසේ ම එම ඊනියා විරෝධය කරුණුමය වශයෙන් පරාජය කිරීමට ගෝලීය ප්‍රග්ධනයේ මෙරට නියෝජිතයන්ට ද එනිසා ම පහසුවෙන් හැකි වීම ය.
වාම අර්ථයෙන් අප ඊට විරුද්ධ වනුයේ පෝර්ට් සිටිය, චීන කොළනියක් වීම සම්බන්ධයෙන් නො වේ.නව ලිබරල් ධනවාදය තුළ එබඳු කොළනි ඇති වීම ස්වාභාවිකවරණයට ලක් කර ඇති පසුබිමක අපට ඒ පිළිබඳ විශේෂ පුදුමයක් නැත.මේ මොහොත වන විට ද අප ජීවත් වන්නේ කොළනියක වන බව අපි දනිමු.එසේ ම ජාතික රාජ්‍ය බොඳ වී දේශ සීමා මැකී යාම සම්බන්ධයෙන් අපට කිසිදු කලබලයක් නොමැත.

එහෙත් ඒ නාමයෙන් ගෝලීය ප්‍රග්ධනයේ වන අශිෂ්ටත්වය සැඟවීමටත් එය සාධාරණීකරණය කිරීමටත් අප බැඳී නැත.පෝර්ට් සිටිය සම්බන්ධයෙන් අපගේ විරෝධය එල්ල වනුයේ එකී මූල්‍ය ප්‍රාග්ධනයේ ශ්‍රම විරෝධී,පරිසර විරෝධී හා සමාජ විරෝධී හැසිරීම එමඟින් ද ස්වාභාවිකකරණය කිරීමට ඉඩ ලැබීම හේතුවෙනි.

කලු සල්ලි සුදු කිරීම සම්බන්ධ අපගේ විරෝධය එල්ල වනුයේ එමඟින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම නිසා නොව එම කලු සල්ලි ඕනෑ ම සමාජයක පීඩිතයාගෙන් සොරකම් කරන ලද මුදල් වන නිසා ය.අප පරිසර විනාශයට එරෙහි වන්නේ ලංකාවේ සොබාදහම සම්බන්ධ අතීතකාමී හැඟීමකින් නොව ලොව කොතැනක හෝ පරිසරය යනු ප්‍රාග්ධනයේ පටු ලාභ වුවමනාව වෙනුවෙන් කළමනාකරණය කිරීම සඳහා පවතින්නක් නො වන නිසා ය.සේවය අවසන් කිරීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අප විරුද්ධ වන්නේ එමඟින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම හේතුවෙන් නොව එමඟින් ශ්‍රමයේ ආරක්ෂණය සම්බන්ධෙයෙන් දිනා ගනු ලැබූ අවමයන් පවා අහෝසි කිරීමේ බලය ප්‍රාග්ධනයට හිමි වීම කෙරෙහි ය.අප ඊට විරුද්ධ වනුයේ එමඟින් ලංකාවේ සංස්කෘතිය විනාශ වන නිසා නොව සාමාන්‍ය මිනිසාට අවම වශයෙන් හෝ සිය සංස්කෘතික ජීවිතය ගත කිරීමට තිබූ ස්ථානයක් එමඟින් අහිමි කිරීමට ප්‍රාග්ධනයට හැකි වීම නිසා ය.

මතු කර ගත යුත්තේ මේ සංවාදය විනා සිරස විසින් උත්කර්ෂයට නංවනු ලබන මෙරට දුගී ජාතිකවාදයේ ම ව්‍යාජ චීන විරෝධය නො වේ.සිංහල බෞද්ධ ජාතිකවාදයේ නූතන ආරක්ෂකයින් චීනය, ළෙන්ගතු ආරක්ෂකයෙකු ලෙස දැක්වීමට උත්සාහ දැරුව ද දැන් මතුව ඇත්තේ ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද දෘෂ්ටිවාදය ඔවුන්ට ම පාලනය කළ නො හැකි තැනකට විපරිවර්තනය වීම ය.ඒ හේතුවෙන් මේ වනාහි එක ම දෘෂ්ටිවාදයක ස්වරූප දෙකක් විනා සැබෑ සතුරු ප්‍රතිවිරෝධයක් නො වේ.සැබවින් ම මේ පාර්ශ්ව දෙක ම හේතුවෙන් සිදු වනුයේ සැබෑ සතුරුබලවේගය ලෙස ගෝලීය ප්‍රාග්ධනය නමැති සාධකය දෘශ්‍යමාන වීම වැළකීම ය.

මේ නගරය ඔබ මා වෙන් කරන නගරය ලෙස මීට මාතෘකා තැබුවේ මේ හේතුවෙනි.වරාය නගරයට අදාළ වාම විරෝධය ඊට විරුද්ධ අනෙක් සියලු ම බලවේගයන්ගෙන් මෙන් ම පක්ෂ බලවේගයන්ගෙන් ද වෙන් කෙරෙන්නේ මෙකී න්‍යායික හා ප්‍රායෝගික සාධක හේතුවෙනි.

එහෙත් සුපුරුදු පරිදි කෙතරම් න්‍යායිකව නිවැරදි වුව ද එතරම් නිවැරදි දැනුමක් අධිපති දෘෂ්ටිවාදය බවට පත් කිරීමට අප අසමත් වී ඇති බව නම් පිළිගත යුතුව ඇත.එබඳු ප්‍රතිහෙජමොනික ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙහෙසීමට වඩා තම මිතුරු බලවේගයන්ට මඩ ගැසීම පවා විශාල කාර්‍යබාරයක් ලෙස දැකීම වමේ ව්‍යාපාරයේ ජානගත දෘෂ්ටි රෝගයක් බව ද ඒ සමඟ ම පෙන්වා දිය යුතුය.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

 

leave a reply