Breaking News

චීන පොහොර නැවට වන්දි ගෙවීම ලංකාවට පාඩුවක් – විගණකාධිපති වාර්තාවක්

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000කින් සමන්විත වූ චීන පොහොර නැව වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) වැය කිරීම රජයට පාඩු කිරීමක් බව දැන් පැවසෙනවා.

ඒ නිසා එම ගනුදෙනුවේ සිද්ධිය සම්බන්ධයෙන් පාඩු වූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ කර ඇ.

නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 2021 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන්ද අදාළ පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමින්. ජීවානුහරණය නොකළ සහ මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබූ බවයි විගණකාධිපතිවරයා තම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මේ පොහොර රටට ඇතුළුවූයේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ග වලට දැඩි බලපෑමක් එල්ල වීමට හැකිව තිබිණැයි සඳහන් කරන විගණන වාර්තාව 2021- 2022 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමෙන් පාඩුවක් කර ඇතැයි පවසනවා. නොසැපයූ පොහොර වෙනුවෙන් එලෙස ගෙවූ මුළු මුදලම පාඩුවී ඇතැයිද විගණකාධිපතිවරයාගේ නිගමනය යි.

මීට අදාළ තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබෙනවා.
චීනයේ චින්දවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු ප්‍රසම්පාදන කමිටුව එවකට නිර්දේශ කර තිබූණා. එම නිර්දේශිත පොහොර තොගයෙන් 60%ක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද ඉතිරි 40% සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2021 අගෝස්තු මස 5 වැනි දින FO /61/2021 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදා යි. ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් ඒ පිළිබඳව සමාජය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වුණා. ඒ නිසා සහ ආණ්ඩු පක්ෂයේ නොවන දේශපාලන පක්ෂ විසින් කළ විරෝධයන් හේතුවෙන් එම චීන පොහොර තොගය රට තුළට ගෙන ඒම වැළකුණා.

ණයවර ලිපි විවෘත කර තිබියදී ශ්‍රී ‍ලංකාව එම නැව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ද චීනය පියවර ගෙන තිබුණි. පොහොර තොගය පරීක්ෂා කිරීමට පෙර ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අවසර දුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ඇති වුණේ ගැටලුවකි.

අවසානයේ මාස ගණනාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් දමා තිබූ පොහොර තොගය රැගත් චීන නෞකාව වන්දි මුදල ගෙවීමෙන් පසුව පිටව ගියා.

පසුගියදා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසුවේ මෙම මුදල් නැවත ලබාගැනීම ගැටළුවක් වී ඇති බවයි. එසේම මේ හරහා රටට පාඩුවක් සිදුව ඇති බව පිළිගන්නට සිදුව තිබෙන බවද ඔහු පවසා තිබේ.

එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවේ අලෙවි වන මිලට වඩා වැඩි මිලට මිලදී ගැනීම සම්බන්යෙන් ද පසුගිය කාලසීමාවේ දැඩි සංවාදයට ලක්විය.

ආණ්ඩුව විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් රසායනික පොහොර ගෙන්වීම නවතනු ලැබුවේ රට තුළ ඩොලර් හිඟයක් ඇතිවීම හේතුවෙනුයි. නමුත් අවසානයේ කිසිදු ප්‍රතිලභයකින් තොරව කාබනික පොහොර ගෙන්වීමේ ව්‍යපෘති සඳහාද ඒ හා සමාන මුදලක් නිකරුනේ වියදම් කර ඇති බව පෙනේ. මේවනතුරු පොහොර ගැටලුව හේතුවෙන් ගොවීන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ආණ්ඩුව අසමත්ව සිටියි.

leave a reply