Breaking News

ජනජීවිත බේරාගැනීමට සෞඛ්‍යයට හදිසි ප්‍රතිපාදන වෙන් කරනු! – අන්තරේ ආණ්ඩුවෙන් ඉල්ලයි

ජනජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් සෞඛ්‍යට හදිසි ප්‍රතිපාදන වෙන්කළ යුතු බවත් කොවිඩ් ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් රජයට පවරා ගන්නා ලෙසත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට බලකර සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ,

කොරෝනා වෛරසය අසාධනය වූ මෙරට පළමු රෝගියා වාර්තා වුයේ පසුගිය වසරේ(2020) මාර්තු මාසයේදීය. එනම් මෙරට තුළ වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතව ගොස් ඇත. ලොව පුර මෙය ව්‍යාප්ත වීම ආරම්භ වී ඊටත් වඩා වැඩි කාලයක් ගතව ඇත. වෛරස ව්‍යාප්තිය ලොව පුරා සිදු වද්දී පවා ඊට සුදානම් වීමේ අවශ්‍යතාව දැඩිව පවතින නමුත් මෙරට පාලකයන් කිසිඳු විටක සෞඛ්‍යය පහසුකම් පුළුල් කිරීමට කටයුතු කිරීම් වෙනුවට සිදු කරනු ලැබුවේ තම රජය වෛරසය රට තුළට ඒමට හෝ නොදෙන බව පවසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමයි. මෙරට තුළ
වෛරසය ව්‍යාප්ත වීම ආරම්භයත් සමඟ රෝහල් පද්ධතිය සතුව පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍යය අංශ වෘත්තීය සමිති දැඩිව අවධාරණය කරන ලදී. නමුත් සෑම විටම සිදු කර ඇත්තේ පහසුකම් වැඩි කිරීම් සම්බන්ධව මාධ්‍ය සංදර්ශන පමණක් බව අද ඉතා පැහැදිලිය.

දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය ඇඳන් පවා මෙරට නිෂ්පාදනය කරන බවද මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණ. නමුත් මේ වනවිටත් පවතින තත්වය තුළ දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

වසංගතයෙන් ලාභ ගැනීමට බලා සිටින පෞද්ගලික අංශයට ඊට ඉඩ නොතබා සියලු පෞද්ගලික රෝහල් රසායනාගාර පහසුකම් ආදිය කොරෝනා මර්දන කාර්යය සාධක බලකායට පවරා ගන්නා ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප යෝජනා කරනු ලැබුයේ මිට වසරකට පෙර සිටය. නමුත් දැන් වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී වසරකට අධික කාලයක් ගත වෙද්දී මෙරට රෝගීන්ට රෝහල් තුළ පහසුකම් නොමැති තත්වයක් උද්ගතව පවතී. එසේ නම් තවදුරටත් ජනතාව වසංගතයට බිලිදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වහාම නතර කොට සෞඛ්‍යය පහසුකම් පුළුල් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම හා පෞද්ගලික රෝහල් පවරා ගැනීම සිදු කළ යුතුය.

වසංගතයට වසරයි – ආණඩුව නිදිවදී.
ජනජීවිත බේරාගැනීමට සෞඛ්‍යයට හදිසි ප්‍රතිපාදන වෙන් කරනු!
දැන්වත් කයිවාරුව නවතා
කොරෝනා ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහල් රජයට පවරා ගනු!

leave a reply