Breaking News

20 සම්මත වුණොත් කෝප් කමිටුව විහිළුවක් බවට පත්වෙනවා – පුබුදු ජයගොඩ

20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පසුගියදා පත්වූ කෝප් කමිටුව විහිළුවක් බවට පත්වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඊයේ(25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ 20වන සංශෝධනය හරහා රාජ්‍ය ආයතන 150ට ආසන්න ප්‍රමාණයක් විගණනය කළ නොහැකි ලෙස සඳහන් කර ඇති බවයි. පුබුදු ජයගොඩ පවසන්නේ කෝප් කමිටුව සිය පරීක්ෂණ පවත්වාගෙන යන්නේ විගණන වාර්තා ඇසුරින් වන නිසා එම වාර්තා නොමැතිව අදාළ ආයතන විගණනය කිරීමේ අවස්ථාව කෝප් කමිටුවට නැතිවෙන බවයි. මේ හරහා තමන්ගේ බදු මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය අහෝසි වෙන බවද පෙසප අධ්‍යාපන ලේකම්වරයා මෙහිදී පැවසිය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ජනාධිපති සහ අගමැති අතර ගැටුමට අවදානය යොමුකිරීමේදී අපේ රටේ සියයට 99ක් කොටසක් සහ ප්‍රාග්ධනය අතර ගැටුම ව්‍යවස්ථා සංශෝධනතුළ ප්‍රකාශයට පත්වෙන්නෙ කොහොමද කියන එක අමතක වෙලා. මේක මාලිගාවේ කුමන්ත්‍රණ පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. එතනින් එහා ගිය ජනතාවගේ අයිතීන් පිළිබඳ ප්‍රශ්නයක්. අගමැතිට බලය තියෙනවද අගමැති රූකඩයක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරහා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් සම්මත කරන පනතක් සමාලෝචනයට ජනතාවට තියෙන අයිතිය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා.

ඒවගේම කලින් ව්‍යවස්ථාවේ තිබූ ලෙස ජනාධිපතිවරයාව අධිකරණයක් ඉදිරියට ගෙනියන්න බැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් නිසා පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවූ අවස්ථාවක මූලික අයිතිවාසිකම් නඩුවට ජනාධිපතිවරයා නියෝජනය කරමින් නීතිපතිවරයා ගෙන්වන්න පුළුවන්. 20න් ඒකත් අයින් කරලා. නමුත් දැන් මගේ මූලික අයිතිවාසිකමක් කැඩුවොත් ජනාධිපති එයාට විරුද්ධව නඩු පවරන්න බැහැ. නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයෝ කියලා අවුරුදු 400 කලින් සම්මත වූ වගන්තිය පවා මේකෙන් ඉවත් කරලා තියෙන්නෙ. ඊට අමතරව ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරලා. විගණන කොමිසම අහෝසි කරලා. විගණනනය කිරීමේ බලය තියෙන්නෙ විගණකාධිපති කියලා තියෙනවා. නමුත් විගණකාධිපතිට අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විගණනය කරන්න බැහැ. ඊට අමතරව රාජ්‍ය සමාගම් විගණනය කරන්න බැහැ. ආයතන 150ට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා විගණනය කරන්න බැරි ඒවා. ඒවා විගණනය කරන්න බැහැ කියන්නෙ පසුගියදා පත්වෙච්ච් කෝප් කමිටුව විහිළුවක්. ඒ ආයතන 150 සම්බන්ධයෙන් කෝප් කමිටුවට විගණනයක් කරන්නත් බැහැ. කෝප් කමිටුව විගණකාධිපතිගෙ වාර්තා ඇසුරින් තමයි නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවට ගෙන්නන්නේ. කෝපා සහ කෝප් කමිටු දෙකේ සභපති ධූර ආණ්ඩු පක්ෂයට දීලා තියෙනවා. දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් 20වන සංශෝධනය සම්මත වුනොත් කෝප් කමිටුවට වාර්තා එන්නෙත් නැහැ. තමන්ගේ බදු මුදල් මොකද වෙන්නෙ කියන ජනතාවගේ ශුද්ධ වූ අයිතිය අහෝසි කරලා තියෙනවා. මේක ජනාධිපති අගමැති අතර බල ගැටුමට එහා ගිය මේ රටේ වැඩකරන ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. ”

leave a reply