Breaking News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලුම ඉහල යනවාලු, දුමින්ද දිසානායක කියන්නේ

අපිට ආණ්ඩුවෙන් බැහැලා යන්න වුවමනාවක් නෑ, අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ? මැතිවරණයට කලින්, ආණ්ඩු හදන්න කලින් දීපු පොරොන්දු වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින්ය. හොරොව්පතාන ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීරකුමාර දිසානායක හා හිටපු පළාත් සභා අමාත්‍යය හේරත් බංඩා යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යයවරුන් වන තිස්ස කරල්ලියද්ද, වීරකුමාර දිසානායක යන මහත්වරුන් එහිදී අදහස් දැක්වීය.අනතුරුව හොරොව්පතාන ආසන බල මණ්ඩලය, භික්ෂු, තරුණ, කාන්තා, ගොවි හා ගුරු ආසන සංවිධාන සඳහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත වතාවක් කලින් තිබුණ ඉල්ලුම ලැබිලා තියෙනවා.අපි බල මණ්ඩල පිහිටවලා ඒවායේ කියපු දේවල් මාධ්‍ය මගින් යන කොට අපිට පේනවා සමහරු වෙනත් උත්තර මේවාට දෙනවා.ඒ අයට මතක් කරලා දෙන්න ඕන, දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක මිසක් වෙන පක්ෂයක ජාතික සංවිධායක නෙමෙයි.අපි ඉන්නේ සන්ධාන ආණ්ඩුවක, ඒ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉන්නවා, තවත් පක්ෂ ගොඩකුත් ඉන්නවා.අපි ආණ්ඩුවේ එකට වාඩි වෙලා හිටියට, එකට ඇමතිකම් කළාට මගේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන එක, පක්ෂය ප්‍රථිසංවිධානය කරන කොට පක්ෂයේ අතීතය, වර්ථමානය හා අනාගතය ගැන කථා කරන එක,මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණා කියලා, ආණ්ඩුවේ කොටස්කාරයෙක් වුණා කියලා මට පුලුවන්කමක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග්‍රහණ ගැන කථා කරන එක නවත්වන්න,මට පුලුවන්කමක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ ලබපු ජයග්‍රහණ ගැන ආඩම්බරයෙන් කථා කරන එක නවත්වන්න,ඒ වගේම වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඉන්නේ මෙතන, හැබැයි අපේ බලාපොරොත්තුව අපේ ඉලක්කය අනාගත ජයග්‍රහණයක් කියන එක මට නොකියා ඉන්න පුලුවන්කමක් නෑ,ඒ අයට අමතක වෙන්න පුලුවන් දුමින්ද දිසානායක කවුද කියලා? හැබැයි දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක කියන එක මතක් කරන්න ඕනකම තියෙනවා.ඒ නිසා අපේ කට නවත්වන්න කාටවත් පුලුවන්කමක් නෑ, අපි කාගෙන්වත් අවසර ගන්න ඕනෙත් නෑ, අපි කාගෙන්වත් අහන්න ඕනකමකුත් නෑ, අපි මේක කිව්වට කමක් නැද්ද කියලා.මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ගමන තීන්දු කරන අඩිතාලම ගැනයි අපි කථා කරන්නේ.

leave a reply