Breaking News

උදාන් ගේ කොවිඩ් මධුසමය(A Covid Honeymoon ) ගැන වචනයක්

අරුණි සමරකෝන්

විවිධ ප්‍රබේධ නිර්මාණය කරමින් ලොව පුරා සාමන්‍ය ජන ජීවිතය නව සාමාන්‍යකරණයකට ලක් කරමින් විහිද යන covid 19 ගෝලීය වසංගතය, නවලිබරල් ප්‍රතිපත්ති වෙත සුවඳ ධුම් පුදන ශ්‍රී ලංකාවේ රාජ්‍ය -පුරවැසි සම්බන්දතා ස්වරුපය කියවන කියවා ගැනීමට හැකි පරාමිතියක් වේ. එය කේන්ද්‍රීය ව ගොඩ නැගී, උදාන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි සිනමා රචනය (https://www.youtube.com/watch?v=AUaY2CnVTFY), මඟින් අනාවරණය කරනුයේ   සංචරණ සිමා හේතුවෙන් පොදු අවකාශයෙන් වෙන්කර, පෞද්ගලික පරිසරයට සිමා කිරීමේ පුරුදුකරණය ශ්‍රී ලංකාවේ ජන ජීවිතය වේ . මෙහි තරුණ ආදර යුගලයෙන් එය නියෝජනය වන බව මගේ අදහස වේ. එසේම, පොරොන්දු , විවිධ හේතුමත වෙනස් කරමින්, තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගැනීම වෙනුවෙන් එම තරුණ යුගලය සමඟ අරගයලක යෙදෙන, කාමරයේ හිමිකරු , ආණ්ඩුව ලෙසට තීරණය කරමි. ඒ අනුව මෙම ලිපිය පහත ආකාරයට රචනා විය.

ඔව් , රශ්මින් සහ සඳුනි ලෙසම ශ්‍රී ලාංකික  වැඩකරන පන්තියේ අප බහුතරය දුෂ්කරව උපයාගන්නා වැටුපක් සමඟ සිංගප්පුරුවක් ගැන ෆැන්ටසියක ජිවත් වේ.එම ෆැන්ටසියේ  , පවතින ආයතන යතාර්ථවාදී කරගැනීමට ඕනෑම අවිනිශ්චිත එකඟතාවයන් ට එළෙඹේමු . මෙයින් ආරම්භ කරමින්, මගේ ස්ත්‍රී විඥානය පෙන්වා දෙන ලෙස , මෙම චිත්‍රපටය පුරාම පවතිනුයේ සංකේතභාවිතා කරමින්, මාරාන්තික වසංගතයක් තුල ,රාජ්‍ය-පුද්ගල සම්බන්දතා සහ පුද්ගල සම්බන්දතා ප්‍රකාශනය කිරීමකි.

අපේක්ෂිත ප්‍රමිතියේ කාමරය වෙනුවට, ආගමික පිළිම අතර ලුණු සහ වෙනත් භාණ්ඩ ගබඩා කිරීමට යොදාගන්නා කාමරයේ , බිම හිද ඔවුන් රමණයේ යෙදීම මට මතක් කරනුයේ, ගාමිණි කොත්තිගොඩ වරක කිවූ වදන්ය . “සිංහල බෞද්ධයා , පැදුරේ නිදාගැනීමේ වේදනාව බාරගනු ලබන්නේ, දෙමළා හෝ වෙනත් වාර්ගිකයන් මර්ධනය කිරීමෙන් පසු තමන්ගේ ප්‍රජාව වෙත සැප ලබාදීමට ආණ්ඩු (විශේෂයෙන්ම, රාජපක්ෂ රෙජීම) කරන ක්‍රියාවලිය වෙන්වුන් තම කැප කිරීම අත්‍යවශ්‍ය බව සිතමිනි “. අචාර්ය උදාන් ප්‍රනාන්දු ගේ , කොවිඩ් 19 යේ මධුසමයත් මෙය නැවත ප්‍රකාශ කරයි. එනම්,  රශ්මින් සහ සඳුනි , තමන් ට පොරොදු වූ කාමරය වෙනුවට ගෙන එනු ලබන යෝජනාව විරුද්ධ වීමක් ද නොපෙන්වා භාරගනුයේ, වෙනත් වාරණයක් තමන්ට නොමැතිබවට ඔවුන් ම තීරණය කිරීමෙනි. එසේම එම පරිසරය තුල සිට වුවද , ඔවුන් “whatever happens , the honeymoon continues ” (කුමක් වුවත්, මධුසමය චිරස්ථායිවේ ) යනුම, වසංගත මැද වසංගත පැමිණිය ද , එය මධුසමයට බාධාවක් නොමැත .

තිස් අවුරුදු යුද්ධය අවසානයේ ද ශ්‍රී ලංකාව ද ලිබරල් සාම මධු සමයක් ගෙවයි. යුද්ධයෙන් පිඩිත ජන ජීවිතය නැවත ගොඩ නැගීම වෙනුවෙන් වූ , උතුරුවසන්තය සහ නැගෙනහිර උදානය , මධු සමයක් වුයේ, රාජපක්ෂ රෙජීමයේ බලය අයියාගෙන් මල්ලි වෙත ස්ථාන ගත වීමටය.  හමුදාව වෙත බාරවූ පසු අතුරු දහන් කරන ලද ජිවිත, ආණ්ඩුව විසින් යුධ මුක්ත කලාප ලෙස නම් කල පසු, එම ආණ්ඩුවේ ම හමුදා ව විසින් ෂෙල් ප්‍රහාර එල්ල කිරීම සහ , එම රෝහල් සහ ළමා නිවාස හි රැඳී සිටි සිවිල් පුරවැසියා ඝාතනය කිරීම්, අග නගරයේ අධි ආරක්‍ෂිත කලාප තුල දී පැහැරගෙන ගොස් අතුරුදහන් කල හෝ වෙඩි තබා මරා දමන ලද මාධ්‍ය වේදී ප්‍රජාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කිසිදු යුක්තියක් ඉටු නොකර පශ්චාත් ලිබරල් මධුසමයක ජිවත් වූවෙමු. එම මධුසමය අදටද අවසන් වී නොමැත.

ඉන්පසුව එළඹෙයේ , මාරාන්තික කොවිඩ් 19 ගෝලීය වසංගතය වේ . සිංගපුර් අගමැතිවරයා, යම් කනගාටුදායක ස්වරූපයකින් , දේශයේ වැසියන් අමතා, මෙම වසංගතයේ නව ප්‍රවණතා සමඟ රාජ්‍ය කටයුතු කරන ආකාරය විස්තර කරයි. එය ඇසෙන පසුබිමේ, රශ්මින් සහ සඳුනි  , Forehead Thermometer සමඟ විනෝද කෙලියක වේ. (ශරීර උෂ්නයත්වය නිර්ණය කිරීම වෙනුවෙන් යොදාගන්නා උපාංගයකි . කොවිඩ් 19 ගෝලීය වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ද මෙම උපාංගය ප්‍රචලිත විය. ඕනෑම කාර්ගිල්ස් හෝ එවැනි භාණ්ඩ අලෙවි මාධ්‍යස්ථාන හෝ වෙනත් ස්ථානයන් හිදී, නිල ඇදුමෙන් සැරසුණු දොරටු පාලක පාලිකාවන් විසින් භාවිතා කරන අත්දැකීම ශ්‍රී ලංකික බහුතරය විඳ ඇත්තයි අපේක්ෂා කරමි ).  එම විනෝද කෙළිය සිහි කැඳවනු යේ , මාරාන්තික වසංගතය පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව “ටූල්ස් ” (උපකරණ ) භාවිතා කළ ආකාරයයි . මිය යන ප්‍රමාණය නිශ්චිතව සදහන් කිරීමට අපෝසත් වීමත්, කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකශ කිරීමට  තරම් අශිලවූ ආණ්ඩු ව, තම සමත්කම    ප්‍රවෘත්ති හරහා ප්‍රකශ කරනු ලැබුවේ, බෙදා දෙනු ලබන සහනාධාර මගිනි.

විදේශීය ලිබරල් , ධනේශ්වර ආණ්ඩු  පවා වැඩකරන පංතියේ  සෞඛ්‍ය නොසලකා නොහරින පසුබිමක, ජාතිකවාදී, දේශීයත්වය කේන්ද්‍රිය සිංහල- බෞද්ධ ආණ්ඩුව විසින් ක්‍රමිකව , වසංගතය ව්‍යාප්තිය ට ඉඩ දෙමින් ද , එයින් පිඩිත ජනයා තවදුරටත් නොසලකා හරිමින් ද ,  ප්‍රත්‍යක්ෂමූලක (empirical ) අවබෝධය යටතේ ක්‍රියාත්මක කල යුතු නිර්දේශ නොමැතිව, ජනප්‍රිය වීම සහ “කොවිඩ් යුද්ධයේ දිනුමද මා ලබාගතිමි ” යන ප්‍රථමික කියවීමක් තුල සිටිමින්, වසංගතය හරහා ජන ඝාතනයකට ඉඩ ලබාදුනි. එය තුල ද පුරවැසියන් බහුතරය , රශ්මින් සහ සඳුනි මෙන්ම, කොවිඩ් 19 නිරෝධායන මධුසමයක කල් ගෙවෙනුයේ, තමන්ව දෙමළා ගෙන් බේරාගත් වීරයා කොවිඩ් 19 න් ද බේරාගනී යන මිත්‍යාවක ගැලීමෙනි.

අවසානයේදී තමන් ගේ විවහාය වෙනුවෙන් මුදල් උපයා ගැනීම  ම උදෙසා පොරොත්තු වූ පරිඝනක වෙළදාමේ කොටස ද අහිමි වී , පමණ ඉක්මවා රැදී සිටීම හේතුවෙන් කාමර කුලිය ද ගෙවා ගැනීමට නොහැකි වූ මෙම යුගලය, “සිටි තැනින් ” පිටමන් වේ. එහිදී රශ්මින් ගේ ගිටාරයේ රැදී “පහසුවෙන් බිඳෙන ” (fragile ) සංකේතාත්මක පතුර සෝපානයේ දොරටු ව ඉදිරියේ බිම වැටේ . එය නැවත රැගෙන ඔහු තමාගේ කලිසම් සාක්කුවේ දමා ගනී. එයින් නියෝජනය වනුයේ, මෙම වසංගතය තුල රාජ්‍ය විසින් වැඩකරන පංතිය “පහසුවෙන් බිඳෙන සුළුභාවයට ” පත් කිරීමය.

වසංගතය සහ එන්නත් කරණය පිලිබඳ  විවිධ පැතිකඩ යුරෝපයේ දී ද මුණ ගැසේ.වරක් මාගේ බල්ගේරියානු මිතුරෙකු පැවසුවේ, වසංගතය සහ එන්නත්කරණය යනු මිත්‍යාවක් බවය. එය මට ශ්‍රී ලංකාවේ ධම්මික මහතා සහ දෙරණ ජන මාධ්‍යයේ භූමිකාව සිහි කැඳවිය. එසේම ඉරාන මිතුරෙකු , එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ,යම් ආගමික විශ්වාසයක් හේතුවෙනි.  මෙම අනුකතා මා පැවසුවේ, ශ්‍රී ලංකාවේ මෙන්ම, යුරෝපයේ ද වසංගතය මධුසමයක් කරගත් පුරවැසියන් සිටින බව පෙන්වීමටය. නමුත් මෙහි බහුතරය වෙත ,එය විවිධ මධුසමයන්  කෙලවර කිරීමේ ඇමතුමක් විය. සුබසාධනය පුළුල් කිරීම, විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත් වීම මත සෞඛ්‍ය සේවාව වර්ධනය කිරීම, පුරවැසියා වගකීමක් සහිතව කටයුතු කිරීම සහ සාමුහිකව ජයගැනීම මෙහිදී ඔවුන්ගේ නව මධුසමය බවට පත් වී තිබේ .

ලිපිය අවසන් කිරීමට ප්‍රථම අචාර්ය උදන් ප්‍රනාන්දු ගැනද වචනයක් ලිවිය යුතුය.   ඉර  හොදින් පෑයූ  එක් උදෑසනක සුපුරුදු පරිදි, පරීක්ෂණ සහයක ලෙස, ග්‍රෙගරි මාවතේ  දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA ) වෙත පැමිණි මා ,දුටුවේ, ඉස්තෝප්පුවේ , වේවැල් පුටුව වෙත බර දී, ලංකාදීප පුවත්පත බලන, පිරිමි පුද්ගලයෙකි. මගේ උදැසන සුභ පැතීමට  හෙතෙම පිළිතුරු දුන් අතර එදින පසුව දැනගත් ආකාරයට ඔහු “සංක්‍රමණික ශ්‍රමය “පිළිබද   පරීක්ෂණයේ මාගේ “ලොක්කා “ය.  ඒ 2011.  ඉන්පසු ඔහු ආයතන ප්‍රධානියා වන වූ අතර, රාවය සහ පසුව අන්නිදා පුවත් පත් හි  ලිපි රචකයෙකු වේ . ඔහු ලියන භාෂාව , මගේ කියවීම අනුව , ප්‍රචණ්ඩත්වයෙන් තොරය. වරක් මාගේ මිතුරියක් ඇසුවේ, ස්ත්‍රී දේශපාලනය  වටහාගත හැකි ලෙසට රචනා ඉදිරිපත් කිරීමට සමත්  පිරිමි මගේ කියවීම් ලෝකය තුල සිටින්නේ ද කියාය? ඔව්. එවැනි පිරිමි රචකයන් තිදෙනෙක් මගේ ලෝකයේ වේ;  පවුලෝ කොයිලෝ, නිර්මාල් රංජිත් දේවාසිරි සහ උදාන් ප්‍රනාන්දුය. ඉතින් අචාර්ය උදාන් ප්‍රනාන්දු, මේ මගේ කියවීම ඔබේ සිනමා රචනාව ගැන.

අරුණි සමරකෝන්

 

leave a reply