Breaking News

සමාජ මාධ්‍ය නොව ආණ්ඩුව බොරු කියන හැටි ගැන ළහිරු වීරසේකර හෙළිකරයි

අසත්‍ය ප්‍රචාරය කරන බව පවසමින් සමාජ මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළද ඇත්තටම අසත්‍ය ප්‍රචාරය කරන්නේ ආණ්ඩුව බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
මාර්තු මාසයෙදී නීතියක් ගෙනාවා සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් වාර්තා කරන අයව අත්අඩංගුවට කළ හැකියි කියලා. වසංගතය මැඩපැවැත්වීම සඳහා ගනු ලබන රජයේ ක්‍රියාමාර්ගවලට බාධා වන ආකාරයේ අසත්‍ය තොරතුරු කියලත් අඩංගුවක් මේකෙ තියනවා. ඊට පසසේ පොලීසිය ජුනි මාසෙ 8වෙනදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරලා තිබුනා. ඒ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ලංකාවේ තියෙන නීති ප්‍රතිපාදන කිහිපයක්ම දක්වලා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනතත් අදාළව තමයි ඒක දාලා තියෙන්නෙ. ඒ නීති යටතේ සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයව වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලත් නියෝගයක් තියෙනවා. ඊට පස්සෙ ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරා මෙහෙම අත්අඩංගුවට ගැනීම්වලදී රඳවා තබා ගැනීමට රැඳවුම් මධ්‍යස්ථානයක්. දැන් ප්‍රශ්නෙකට තියෙන්නෙ වසංගතය මැඩ පවත්වන්න බැරිවෙලා තියෙන්නෙ සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු කියන හින්දද. ජුනි මාසෙ නිකුත්කරපු කොවිඩ් මරණ 101ක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් වුණා. රජයේ නිල ප්‍රකාශයක් විදිහට මේක ප්‍රචාරය වෙනවා. දැන් මේ මරණ සම්බන්ධයෙන් සැකයක් තියෙනවා කියලා කවුරුහරි කිව්වොත් සමාජ මාධ්‍යවල ඔහුව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඒ නිවේදනය බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒ මරණ වාර්තා වෙන්නෙ පෙබරවාරි මාසයේ සිට කියලා තමයි නිවේදනයේ තියෙන්නෙ. පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි. පෙබරවාරි 06 වෙනිදා මැරුණු කෙනෙක් ජුනි මාසෙ වාර්තාවට ඇතුළත් වෙන්නෙ කොහොමද කියලා අහන එකේ අයිතියක් අපිට තියෙනවද නැද්ද? ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම රජයට පාලනය කළ හැකි ඒවා. එතකොට අවහිර කරන්නේ රජයට පාලනය කළ නොහැකි ඒවා. මං එක උදාහරණයක් කියන්නම්. කොවිඩ් පළමු රැල්ල ආපු වෙලාවේදී පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් facebook එකේ postඑකක් දැම්මා කියලා ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහු දාපු පොස්ට් එක තමයි ඇමති කෙනෙකුත් නොවන මන්ත්‍රී කෙනෙකුත් නොවන පක්ෂයක නායකයෙක් බැසිල් රාජපක්ෂ කියන කෙනා ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති වෙන්නෙ කොහොමද කියලා ඇහුවේ. ඒක අහන්න මේ රටේ ජනතාවට අයිතියක් නැද්ද? ඒක අසත්‍ය තොරතුරු මත පදනම් වෙන එකක් නෙමෙයි. මේ ආණ්ඩුවට පාලනය කළ නොහැකි ඒවා තමයි නිශ්චිතවම මේ මර්දනයට ලක් කරලා තියෙන්නේ .

මේ මාධ්‍ය ආයතනවලින් පසුගිය කාලයේ කොරෝනා වසංගතයට බෙහෙතක් හොයාගත්තා කියලා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් හොයාගත්ත පැණියක් ගැන ලොකු ප්‍රචාරයක් දුන්නා. ඔහුව මාධ්‍ය ආයතනවලට ගෙනල්ලා ඔහුගේ මේ පැණිය ප්‍රචාරය කරන්න කටයුතු කළා. අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරිය ඒ පැණිය ප්‍රචාරය කළා. එත අවසානයේදී වෛද්‍ය පරීක්ෂණවලින් ආවා මේ පැණිය කොරෝනා රෝගය සඳහා ඖෂධයක් ලෙස පාවිච්චි කළ නොහැකියි කියලා. එතකොට මිත්‍යාව වපුරලා අසත්‍ය ප්‍රචාර කරලා තියෙන්නෙ මේ රටේ සෞඛ්‍ය ඇමති. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එන්නත් ගැන කරපු ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක්. ඒකට මොකක්ද වුණේ. ඒවගේම පහුගිය කාලවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්තුවා කියලා නිශ්චිත ප්‍රකාශයක් ආණ්ඩුවෙන් කළා. ඒ වෙනකොටත් ඒ වාහන ගෙන්වන්න සියල්ල කරලා. දැන් කියනවා ඒ වාහන ගෙන්වන එක නවත්වන්න බැහැ කියලා. එතකොට කවුද බොරු කියලා තියෙන්නේ. හොඳම සිදුවීම තමයි මේ මෑතකදී සිද්ධ වෙච්ච එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවේ වරායට ඇතුල් වෙන්න ඉඩකඩ දීපු එක. නෞකාවේ රසායනික කාන්දුවක් තියෙනවා කියපු ඒවා. අවසර ඉල්ලපු ඒවා නැවත මෙහෙ ඉන්න අය එහෙට යවපු ඊමේල් පණිවිඩ. ඒවා අතුරුදහන් වෙලා. ඇත්තටම අසත්‍ය ප්‍රකාශ කරලා තියෙන්නෙ කවුද?

leave a reply