Breaking News

නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්

සනත් බාලසුරිය

”වන්දි ලබාගැනීමේ අරමුණින් නැවේ ගින්න හිතාමතා පැතිරෙන්න ඉඩහැරියාද?”

වන්දි ලබාගැනීමේ අරමුණින් ලංකාවේ බලධාරීන් නැවේ ගින්න නිවානොදැමුවේදැයි බලවත් සැකයක් ඇතිවී තිබෙන බව, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ කපිතාන්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

නීතීඥවරයා ප්‍රශ්නකර තිබෙන්නේ මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවී පැය එකහමාරක් එහි සිටි නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කිසිවක්ම කළේ නැත්තේ මන්ද? කියා ය.

කෝච්චියෙන් බැස නැවේ ගිය රත්තරං

රත්තරන් නමින් ප්‍රසිද්ධව සිටින වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මේ සිද්ධියේ දී හැසිරුණු මන්දබුද්ධික ආකාරය ද සැක සහිත ය. උෂ්ණත්වය මනින ඒකකයක් ගැනවත් අන්දෝ සන්සාරයක් නොදන්නා මේ ඇමතියා කීවේ, නැවේ උෂ්ණත්වය 85%ක් කියා ය.
තවත් මොහොතක නැවක නැගී මුහුදුකොල්ලකාර පාට්එකක් දමමින් රත්තරන් කීවේ ගින්න මුළුමනින් පාලනය කර ඇති බව ය.

ගෙයි උළුවහු විකුණා කුඩුගහන්නෝ

නැව ගිනිගෙන දැවී, එහි ප්‍රවාහනය කළ විෂ රසායන ද්‍රව්‍ය ඇතුළු පරිසරයට හානිකර ද්‍රව්‍ය සාගරයට එකතුවූ කළ වාසුදේව ඇමතියා, හරියට ගෙදර දොර-ජනෙල්-උළුවහු පවා විකුණා කුඩුගහන එකෙකු මෙන් කීවේ “නැවෙන් අපිට විශාල වන්දියක් ලැබෙයි, ඒක අපට මේ වෙලාවේ ප්‍රයෝජනයි” කියා ය.
වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා දිගින් දිගටම මින් සිදුවූ දැවැන්ත පරිසර විනාශය සුළුකොට පෙන්වා කතාකරන්නෙකි.
ඒ අනුව, මුල්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි නීතීඥවරයා අධිකරණය හමුවේ පළකර ඇති සැකය අවධානයට ලක්විය යුත්තකි.

අත්අඩංගුවට පත් කපිතාන්වරයා රුසියානු ජාතික ක්වප්ලෝ විටලී වන අතර ඔහු වෙනුවෙන් කරුණු දැක්වූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ය.
කපිතාන්වරයා අධිකරණයෙන් ඇපපිට නිදහස් විය.

මූදු මංකොල්ලකාරයෝ

ජාත්‍යන්තරව අවධානය ලක්විය හැකි මෙවැනි නඩුවක දී මෙවන් තර්ක ඉදිරිපත්වීමෙන් පවා පැහැදිළි වන්නේ මේ චෞර රැල රටට අත්කරදී ඇති නින්දිත ඉරණමක තරමයි.

සෝමාලියානු මුහුදුකොල්ලකාරයින් මෙන් අහළින් පහළින් යන නැවක් හෝ කොල්ලකාගෙන එදාවේල හරිහම්බ කරගන්නට බලා ඉන්නා සොරමුලක් බවට පාලකයා පත්ව ඇතිය යන්න, මෙවැනි ප්‍රවෘත්තියකින් ලෝකයට ගම්‍යවන අදහස යි.

‘ඩයමන්ඩ්’ නැවෙන් ගත් වන්දි කෝ?

එහෙත් පසුගිය සැප්තැම්බරයේ දී මෙරට මුහුදු කලාපයේ ගිනිගත් එම් ටී ඩයමන්ඩ් නෞකාවෙන් ද වන්දි අයකරගන්නා බවට ආණ්ඩුව පාරම් බෑවත්, ඉන් කොපමණ වන්දිමුදලක් ලැබිණිද යන්න අදටත් අබිරහසකි. එයත් කාගෙ කාගේ හෝ සාක්කු කිහිපයක අබිරහස් ලෙස අතුරුදන් වූවා වන්නටත් පිළිවන.
කුරාම් ෂෙයික්ගේ ඉරණම කප්පිත්තා දන්නවා නම්…

හැබැයි සිය පෙම්වතිය සමග නිවාඩුවක් ගතකරන්නට ආ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්ට රාජපක්ෂලාගේ තංගල්ලේ දේශපාලන සුරතලා සිදුකළ දේ ආරංචි වුවහොත් මේ රුසියානු කප්පිත්තා පාස්පෝට් එක අධිකරණයේම තබාගන්නැයි කියා මුහුදට පැන පීනා හෝ පණබේරාගෙන මේ රටෙන් පැනගන්නවා ඇත.

සනත් බාලසුරිය

leave a reply