Breaking News

ඇමරිකාවෙත් තෙල් මිල ලංකාවට වඩා වැඩියි – අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසා තිබේ.

නවතම ඉන්ධන මිල සංශෝධනයට හේතු වන කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අඛණ්ඩව පාඩු සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයාට අනුව සිපෙට්කෝ සමාගමට මේ වසරේ මුල් මාස 4 තුළ පමණක් රුපියල් බිලියන 45 ක පාඩුවක් සිදුව ඇත. මෙය රටේ බැංකු අංශයට බලපානු ඇති අතර රටේ ආර්ථික ස්ථාවරත්වයටද ගැටලු ඇති කරන්නක් බව අජිත් නිවාඩ් කබ්රාල් පවසා තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූ පාඩු සහ ලෝක බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීය.

අජිත් නිවාඩ් කබ්රාල් වැන්නන් ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන් ලෙස පෙනී සිටිමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණිය කරනු දක්නට ලැබේ. එහිදී ඔහු පවසන්නේ එම ක්‍රියාමාර්ග රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ගන්නා ක්‍රියාමාර්ග බවයි. එහෙත් ඔහු මේ සඳහන් කරන්නේ කාගේ ආර්ථිකයද යන්න ගැන ප්‍රශ්නයක් මතුවේ.

ඉන්ධන මිල ඉහළ යාම යනු රටේ භාණ්ඩ සහ සේවා සියල්ලකගේ මිල ඉහළ යාමට බලපාන්නකි. දැනටමත් බස් රථ හිමියන්ගේ සංගම්, බේකරි කර්මාන්තකරුවන්, පාසල් වෑන් රථ සංගම් තම ගාස්තු ඉහළ දමන බව පවසා තිබේ. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය හරහා ජනතාවගේ ආර්ථිකයට තදබල ප්‍රහාරක් එල්ල වනු ඇති බව නිසැකය.

leave a reply