Breaking News

අද සිව්වැනි ගැබිණි කාන්තා මරණයත් වාර්තා වෙයි – තවමත් පෞද්ගලික අංශයේ ගැබිණි කාන්තාවන් සේවයට කැඳවීම නවතා නැහැ

කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය අද වාර්තා වී තිබේ. එළෙස මියගොස් ඇත්තේ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ කුසේ සිටි මාස 8ක් වන බිළිඳිය ද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි පැවසුවේ මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා දෙබරවැව රෝහලට ඇතුළත් වී ඇති බවත්, එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

ඇයට තවත් දියණියන් තිදෙනකු ද සිටී.

3 වැනි කොවිඩ් රැල්ලේදී ගැබිණි කාන්තාවන්ට විශේෂ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදීත් ඔවුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වනතුරු කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. කාන්තා සංවිධාන කිහිපයක්ම මෙම ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවට ඉල්ලීම් කර තිබේ.

ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව නිදහස උදෙසා කාන්තා සංගමය පවසයි. එක් පැත්තකින් රාජ්‍ය සේවයේ රැකියා කරන ගැබිණි මව්වරුන්ට රැකියා සඳහා නොපැමිණෙන ලෙස කියන ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් හඳුන්වා දී නොමැති බව ද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයමෙහිදී පෙන්වා දී තිබේ. එසේම මුළු සමාජයේම ජීවත්වන ගැබිණි මව්වරුන් සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වූ වැඩපිළිවලක් ද අවශ්‍ය බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසා තිබේ.

ඇය මේ බව පැවසුවේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වූ කොවිඩ් හමුවේ, කාන්තාවගේ අභියෝගය යන මැයෙන් අද පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

ඊට අමතරව පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර තිබේ.

ඇතැම් ආයතන ගැබිණි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇතැයි පෙන්වා දෙන එම සංවිධාන නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩ කඩක් නොමැති වීම සමහර ගැබිණි මවුවරුන් මුහුණ දී ඇති ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙයි.

එමෙන්ම බොහෝ ආයතන මේ වනවිට සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිණි මවුවරුන් අවදානම් තත්ත්වයේ පසුවන බවද ඔවුහු පෙන්වා දෙති.

leave a reply