මේ අයවැයෙනුත් වැඩිපුර මුදල් වෙන්කර ඇත්තේ ජනතාව ඇන්දීමට සහ මර්දනය කිරීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු පවසන්නේ මාර්ග සංවර්ධනය කරමින් ජනතාව අන්දවන අතර හමුදාව,පොලීසිය, ඩ්‍රෝන් යානා දාලා මිනිස්සු සංචරණය කරන තැන් හොයන්න ඇප් හදලා මර්දනය කරන බවයි.
පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,
“ඊයේ අය වැය ඉදිරිපත් කරපු අවස්ථාවේ විපක්ෂය කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ආණ්ඩු පක්ෂයෙන් ප්‍රීති ඝෝෂා ඇහුනෙත් නැහැ. ඒක නිසා එළියට පේන්න තියෙන්නෙ තියෙන්නෙ මේක පතෝල අයවැයක් කියලා. නමුත් මේක පතෝල අයවැයක් නෙමෙයි. දිය යටින් ගින්දර ගෙනයන අයවැයක්. මේක ඇතුලේ රජය විසින් ක්‍රියාත්මක කරන්න නියමිත ජනතා විරෝධී සියල්ල සඳහා පදනම හදාගෙන තියෙනවා. තව පැත්තකින් මේක පෙම් හසුනක් වගේ. හැබැයි ප්‍රේමය ප්‍රකාශ කරලා තියෙන්නේ ධන කුවේරයන්ට, මහා පරිමාණ බදු වංචාකරුවන්ට. ජාතික ආර්ථිකය වගේ වචන කිව්වට ඒවා ක්‍රියාවට නංවන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. උදාහරණයකට අගමැතිවරයා කියනවා ලබන වසරේ සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නෙ මේ වසරේ පළමු කාර්තුවේදී සියයට ඍන 1.6යි ආර්ථික වර්ධන වේගය. දෙවන කාර්තුවේ මහ බැංකු වාර්තාව නිකුත් කළේ දළ ජාතික නිෂ්පාදිතය සහ ආර්ථික වර්ධන වේගය ගැන සඳහන් කරන්නෙ නැතුව. ඒවගේම ණය බර අඩු කරනවා කියන ගමන් රුපියල් බිලියන 2900ක ණයක් ගන්න අපේක්ෂා කරනවා.
ඒ වගේම මෙවර රුපියල් බිලියන 1564ක අයවැය හිඟයක් තියෙනවා. මෙවර අයවැයේ රුපියල් බිලියන 1724ක් ම තියෙන්නෙ බදු අදායම්. රුපියල් බිලියන 227යි තියෙන්නෙ බදු නොවන ආදායම්. පොදු වශයෙන් ගත්තම සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 88ක් ම බදු. ඒ වගේම මෙවර අයවැයට අනුව ඍජු බදු ඒ කියන්නෙ සමාගම්වලින් ලාභ උපයන්නගෙන් උපයා ගන්නා බදු තියෙන්නෙ රුපියල් බිලියන 371යි. හැබැයි රුපියල් බිලියන 1353ක් බද්දක් අයකරගන්න බලාපොරොත්තු වෙනවා භාණ්ඩ හා සේවාවලින්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ භාණ්ඩ හා සේවා මත තමයි සියයට 80කම බද්දක් ගහලා තියෙන්නෙ. ජනතාවට කිසිම බදු සහනයක් නැහැ. සමාගම්වලට තමයි බදු සහන දීලා තියෙන්නෙ. අගමැතිවරයා ප්‍රකාශ කළා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගම්වලට සියයට 50ක බදු සහනයක් ලබාදෙනවා කියලා. ධීවර, කෘෂි, පශු සම්පත් වගේ ක්ෂේත්‍රවල ආයෝජනය කරන සමාගම්වලට වසර 5ක පූර්ණ බදු සහනයක් දෙනවා කියලා. පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කරන සමාගම්වලට වසර 05ක බදු සහනයක් දෙනවා කිව්වා. ගොඩනැගිලි ද්‍රව්‍ය මත අධික බද්දක් පනවලා තියෙනවා. හැබැයි නිවාස හදලා විකුණන සමාගම්වලට පූර්ණ බදු සහනයක් දෙනවා. අනිත් එක තමයි ඊයේ අගමැතිවරයා ප්‍රකාශ කළා හංගලා තියෙන සල්ලි එළියට දාන්න ඒකට බදු ගහන්නේ නැහැ කියලා. සැප්තැම්බර් මාසයේ නිකුත්කරපු විගණකාධිපති වාර්තාවට අනුව රුපියල් කෝටි 41475ක බදු වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ රුපියල් කෝටි 41475ක බදු වංචා කරපුවා නීතියෙනුත් රැකවරණයක් ලබාදෙන්න ඒ කළු සල්ලි සුදු කරලා ආයෝජනය කරන්න අයවැයෙන් අවස්ථාවක් හදලා.
2020 පටන් ගන්නකොට රුපියල් ට්‍රිලියන 13ක විතර ණයක් තමයි තිබුණේ. 2020 වසර ඇතුලේ රුපියල් ට්‍රිලියන 2ක ණයක් ගත්තා. අයවැයට අනුව දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 3ක ණය ගන්න අපේක්ෂා කරනවා. මේ ජනාධිපතිවරයා ධූරයට පත්වෙනකොට තිබුණු ට්‍රිලියන 13ක් වෙච්ච ණය ප්‍රමාණය ජනාධිපතිවරයාගේ ධූර කාලයේ දෙවන වසර සම්පූර්ණ කරද්දී ඒ කියන්නේ 2021 දෙසැම්බර් වෙද්දී ට්‍රිලියන 18ක් බවට පත්වෙනවා. මේ ණය බර අඩු කරනවා කියලා බලයට ආපු ආණ්ඩුවක්. මේ ණය එක්ක ගැටගැහිලා අධිරාජ්‍යවාදී බලපෑම්, කලාපීය බලවතුන්ගේ ප්‍රශ්න මේ ඔක්කොම එනවා. ට්‍රිලියන 3ක ණය ගන්න වෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුයි, ලෝක බැංකුවෙනුයි, චීනෙන්, ඉන්දියාවෙන්, රුසියාවෙන්, ජපානෙන්.
මේ අයවැය ඇතුලේ බොරු කියලා තියෙනවා. වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීම ගැන අගමැතිවරයා පට්ටපල් බොරුවක් කිව්වා. ජනාධිපතිවරයා බලයට පත්වෙලා ගෙවුණු වසරක කාලය ඇතුළත වතු කම්කරු වැටුප 1000 කරනවා කියපු හතරවන අවස්ථාව මේකයි. අයවැයවලදී කියන මේ කතා ඔක්කොම බොරු කරලා තියෙන්නේ. උදාහරණයකට යහපාලන ආණ්ඩුව 2019 වසර ඉදිරිපත් කරපු අයවැයේ කිව්වා රුපියල් 750ක වතු කම්කරු වැටුපට රජයෙන් රුපියල් 50ක් එකතු කරලා ඒක 800 කරනවා කියලා. නමුත් ඒක කරේ නැහැ. රජය රුපියල් 1000ක් දෙනවා කිව්වට මෙය ලබාදෙන්න ඕනා වතු සමාගම්වලින්. රජය වතු සමාගම් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තියෙනවද? දැනට වතු සමාගම් එක්ක තියෙන සාමූහික ගිවිසුම අවසන් වෙන්නෙ ලබන වසරේ මාර්තු මාසයේ. එතකොට ජනවාරි ඉඳලා රුපියල් 1000 දෙනවනම් මේ තියෙන ගිවිසුම අහෝසි කරලා අලුත් සාමූහික ගිවිසුමක් ගහනවද? මේ පොරොන්දුවලට රැවටිලා රැවටිලා වතු කම්කරුවෝ හෙම්බත් වෙලා ඉන්නෙ.
නාගරික විශ්ව විද්‍යාල හදනවා කියලා කියනවා. ඒ අතර රටේ අගනුවර තියෙන විශ්ව විද්‍යාලය අයින්කරලා ගස් වවනවා කියනවා. අගමැතිවරයා කියනවා විශ්ව විද්‍යාල 4ක් හදන්න මිලියන 1000ක් වෙන් කරා කියලා. එතකොට එක විශ්ව විද්‍යාලයක් හදන්න තියෙන්නේ රුපියල් මිලියන 250යි. රුපියල් කෝටි දෙකහමාරකට විශ්ව විද්‍යාලයක ගොඩනැගිල්ලක්වත් හදන්න පුලුවන්ද?
රජයේ සේවකයෝ ඉල්ලපු වැටුප් වැඩිවීම් දීලා නැහැ. ඒ වෙනුවට කියනවා රාජ්‍ය සේවකයන්ට සේවා කාලයෙන් පස්සෙ ගිහිල්ලා වෙනත් රැකියාවක් කරන්න අවසර දෙනවා කියලා. මේ හදන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්නේ නැතුව උඹලා හම්බකරගෙන කාපල්ලා කියන්න. ගුරු වැටුප් විෂමතාවය විසඳන්න කියලා බරපතල ඉල්ලීමක් තිබුණා. නමුත් ගුරු වැටුප් ගැන වචනයක්වත් කියලා නැහැ. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස 60 කරලා තියෙනවා. මේ හදන්නේ ඔවුන්ගේ අර්ථසාධකය මංකොල්ල කන්න. සේවකයාට තමන් ඉතුරු කරපු මුදල වයස අවුරුදු 60 වෙනකම් ගන්න බැරි තත්ත්වයක් හදන්න මේ යන්නේ.
අධ්‍යාපනයේ කිසිදු ප්‍රශ්නයකට උත්තර නැහැ. ගුරු හිඟය ගැන වචනයක් කියලා නැහැ. පාසල් සඳහා දීලා තියෙන උත්තරේ තමයි හැම පාසලකටම ටීවි එකක් දෙන්නම් කියන එක.
ඊයේ කිව්වා වැලි, පස්, ගල් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ බලය මාර්ග සංවර්ධන අධිකාරියට දෙනවා කියලා. දැනට ඒක භූ විද්‍යා පතල් කාර්යාංශය කරමින් ඉන්නෙ. එහි කටයුතු අධික්ෂණය කරනවා මධ්‍යම පරිසර අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අනෙකුත් ඒවා ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ව්‍යුහයන්. මේ අධීක්ෂණ මුකුත් නැතුව මාර්ග සංවර්ධන අධිකාරියට බලපත්‍ර නිකුත් කිරීම දෙන්නද හදන්නේ?
අපෙන් ගන්න බදු මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා බැලුවොත් මේ අයවැයේ වැඩිම මුදල වෙන් කරලා තියෙන්නේ ආරක්ෂා අමාත්‍යංශයට. රුපියල් බිලියන 355ක් වෙන් කරලා. පොලිසියට රුපියල් බිලියන 85ක් වෙන්කරලා. ඒ කියන්නේ රුපියල් බිලියන 440ක් අපිව මර්දනය කරන්න යොදවලා තියෙන්නේ. මේක 2019ට සාපේක්ෂව සියයට 12ක වැඩිවීමක්. දෙවැනියට මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 330ක් වෙන් කරලා. නමුත් පොදු ප්‍රවාහනයට වෙන් කරලා තියෙන්නෙ රුපියල් බිලියන 41යි. 2019 අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 167ක් වෙන් කරලා තිබුණා. ඒක 2021 අයවැයේ රුපියල් බිලියන 126ට කප්පාදු කරලා. සෞඛ්‍යට රුපියල් බිලියන 188ක් වෙන් කරලා තිබුණා. මෙවර ඒක රුපියල් බිලියන 159ට කපලා. ගෝලීය වසංගතයක් තියෙන වෙලාවක සෞඛ්‍යට වෙන් කරන මුදල බිලියන 28ක විතර කප්පාදුවක් කරලා. අද දිනයේ අපි දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරිපිට මේ සෞඛ්‍ය වියදම් කප්පාදුවට විරුද්ධව උද්ඝෝෂණ කිහිපයක් කළා. සෞඛ්‍යට වෙන්කරන සොච්චමත් කපලා ඒ වෙනුවට කොවිඩ් රක්ෂණයක් හඳුන්වලා දීලා. කොවිඩ් හැදිලා මැරුණට පස්සෙ සල්ලි දෙන්නම් කියලා කියන්නෙ. සෞඛ්‍ය සේවකයන්ට අවධානම් දීමනා දීලත් නැහැ, pcr යන්ත්‍ර , වෙන්ටිලේටර්ස්, දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන්, සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට අවශ්‍ය උපකරණ ගන්නවත් මුදල් වෙන් නොකර දැන් පාරවල් හදන්න යනවා. භාණ්ඩ හා සේවාවලින් අයකරන බදු අරන් බැලුවම එක පවුලක් භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී මාසෙකට රුපියල් 18000ක බදු ගෙවන්න තියෙනවා. ඒ මුදලෙන් හතරෙන් එකක් වියදම් කරන්නේ අපිව අන්දන්නයි. අපිව මර්දනය කරන්නයි. පාරවල් කාපට් කරලා අපිව අන්දනවා. හමුදා පොලිසි දලා ඩ්‍රෝන් දාලා මිනිස්සු සංචරණය කරන තැන් හොයන්න ඇප් හදලා මර්දනය කරනවා.
මේ ආර්ථිකය මේ ධනවාදය මෙහෙම දුවද්දී හැමදාම වුණේ මෙහෙම තමයි. පොදු මහජනතාවට බදු, වසංගත, ණය බර, ජීවන බර. නමුත් සමාගම්වලට බදු සහන දීලා තියෙනවා. බදු වංචා කරපු සමාගම්වලට සල්ලි ටික එළියට දාන්න අපි දඬුවම් දෙන්නෙ නෑ කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. මෙවර අයවැය සක්සුදක් සේ පෙන්නලා දීලා තියෙනවා කෙලින් කට්ටිය, හමුදාවේ හිටපු කට්ටිය, දරුණු කට්ටිය කියලා එක එක්කෙනා මාරු කරලා හරියන්නේ නැහැ කියලා. “