මේ ලෝකෙ හැම භෞතික දේකටම Life Spand එකක් තියනවා. ඒ කියන්නේ “ආයු කාලයක්” තියනවා. කිසිම දෙයක් හෝ කෙනෙක් අමරණීය නෑ. හැමදෙයක්ම එන්නේ expiry date එකක් එක්ක.
මිනිස්සු තේරුම් ගන්නෝනි, අපි මොහොතින් මොහොත පරණ වන බව. ඒකටයි, කැඩපත් කියලා දෙයක් ලෝකෙ තියෙන්නේ. කැඩපත් තියෙන්නේ අපේ සැබෑ භෞතික සත්‍යය දකින්නයි. ඒත්, මිනිස්සු කැඩපතක් ඉදිරියේදි කරන්නේ, තමන්ගෙ රූපයේ අඩුපාඩු වහන එක විතරයි. පියරු අහුරකින්, ෆවුන්ඩේශන් තට්ටුවකින්, වෙනත් ලාවණ්‍ය උපකරණ රැසක ආධාරයෙන් වහපු රූපයත් එක්ක මිනිස්සු තමන් තමන්වම රවටා ගන්නවා.
අඩ නිරුවත සාමාන්‍යකරණය වෙද්දි, මස් වැදලි මාකට් කිරීම ප්‍රවණතාවයක් වෙද්දි, ලජ්ජා බය ගවුම් වාටියෙන් උඩට අඟලෙන් අඟලට ශීඝ්‍රයෙන් අඩු වෙද්දි, යථාව තුළ අසහනකාරී මිනිස්සු, එෆ්බී පිටුවක හාට්, ලයික් සහ කමෙන්ටු වලිනුයි සැනසෙන්නේ.
සමාජය වේගයෙන් ඇදී යන්නේ අවරට. ඒ නිළිය, මේ නිළිය කළ නිසාත්, බහුතරය කරන නිසාත්, අනුකාරක බවට පත් වෙනවා මිස, තමන් කවුද, තමන්ගේ අනන්‍යතාවය මොකක්ද, තමන්ගේ සමාජමය වගකීම කුමක්ද කියන දේ පවා මිනිස්සුන්ට අමතක වෙලා. ඇතැම්විට, උන්හිටි තැන් අමතක කරවන තරමේ ඇබ්බැහියක් බවට, වසංගතයක් බවට, සමාජ මාධ්‍ය ජාලය පත්වෙලා. මිනිස් මනස ලාබ තොරොම්බල් වලින් පුරවලා. ආක්‍රමණය කරලා.
“පසෙකට වී නිහඬව බලා හිඳීම” කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් බොහෝම සාර්ථක අභ්‍යාසයක්. සුදුසු හා නුසුදුසු දේ පිළිබඳව බුද්ධිමය අදහසක් ගන්න එවැන්නෙකුට හැකියි.
ඉතිං, පොඩ්ඩක් නැවතෙන්න. හිතන්න. සමාජ මාධ්‍ය තුළ නිතර ගැවසෙමින් ඔබ සොයන්නේ කුමක්ද, ඔබ නිරන්තරයෙන් නරඹන්නේ කුමක්ද, ඔබට ඇත්තේ කුමන වර්ගයේ තෝරා ගැනීම්ද, ඔබේ රසඥතාවයේ ආනතිය කවර අතකටද,
තේරුම් ගන්න,
අන්න,
ඒ ඔබ සොයන දේ බවට
ඔබත් නොදැනීම,
ඔබව පත් වන බව.
ඔබේ රැකවලා
අන් කවරකු හෝ නොව,
ඔබම පමණක් බව.