Breaking News

‘කඳුළු එන්නත් කිරීමේ’ ගී රස වින්දන ප්‍රෝඩාවට එරෙහිව “නේත‍්‍රා”

පදරචනය – ජනිත් විතාරණගේ
තනුව සහ සංගීතය – දිලූම් තේජන හෙට්ටිආරච්චි
ගායනය – අභිෂේකා විමලවීර

ලොව බොහෝ නිර්මාණයන්ට විෂයවන වස්තුවක් ලෙස ‘මව’ට හිමිවනුයේ විශේෂ වැදගත්කමකි. ඒ් ඇයිද යන ගැටලූව විසඳා ගැනීමට අපට මනෝවිශ්ලේෂණයේ පිහිට පැතීමට සිදු වේ.

ඒ අනුව, මෙය වටහාගැනීමට සිදුවන්නේ ‘ප‍්‍රථම ආදර වස්තුව’ (object of love) පිළිබඳව වන ආශාවේ ප‍්‍රතිඵලයක් ලෙසය. තමන්ට අහිමි වූ ඒ් ප‍්‍රථම ආදර වස්තුව පිළිබඳවන ආශාවේ ප‍්‍රතිඵලයක් ලෙසය. තමන්ට අහිමි වූ ඒ් ප‍්‍රථම ආදර වස්තුව මුලූ ජීවිත කාලය තුළම හඹායාම එක් ස්වරූපයකින් දිස්වන ආකාරයක් ලෙස මේ නිර්මාණය දැක්විය හැකිය. ජනිත් විමලවීර විසින් රචනා කරන ලද ‘නේත‍්‍රා’ ගීතයට ද එම සඳහන වලංගුය.

සමන් වික‍්‍රමාරච්චිගේ වචනයෙන්ම කියන්නේ නම් ”අම්මා ගැන ලියන්නට නම් කෙනකු ආපසු හැරී බැලිය යුතුය. ඒය නිසැකවම අතීත වේදනාවකි. (nostalgia) ඊට වඩා එය අයත්වන්නේ මරණය හඹායාමටය. (death drive) එය ස්වයංවිනාශකාරීය, ස්වපීඩකය. එම ස්වපීඩකත්වය බෙහෙවින් අනතුරුදායකය. මෙම ගීතය එම අනතුරුදායකත්වය මැනවින් මූර්තිමත් කරයි. මෙහි කථකයාට (ගායනා කරනුයේ ගැහැණු හ`ඩකින් වුවද) තමන් පිළිබඳ වන වරදකාරිත්වය මේ හැම පදයකින්ම දිස්වේ. මෙය අනතුරුදායක වනුයේ එබැවිනි.

මව ගැන ලියනවිට අප ලියන්නේ ඇයගේ අතීත වේදනාවය. මවගේ ආදරය අප මැන ගන්නේ ඇයගේ වේදනාව තුළිනි. ඇය වදවේදනා උසුලා ඇත්තේ අප වෙනුවෙනි. ඒම නිසා අප (දරුවා) ගැන නොලියා ඇය ගැන ලිවිය නොහැකිය. මව ගැන ලියන හැමවිටම දරුවා ගැන ලියැවෙනුයේ එබැවිනි. ඒය ගෝර්කිගේ අම්මාගේ සිට සන්නාගේ අම්මා දක්වා ඒක ලෙසින් අදාළය. මේ ගීතය පුරාමද එම දරුවාගේ රූපය දර්ශනයවන අතර පහත උදෘතකර ඇති පාඨයන්හි එය නිශ්චිතව මතුකර දක්වා ඇත.

‘තුනට හතරට නැව්ව මගේ රුව
පසුමිබියෙ තනි රකිනවා නම්’
‘ගල් වලේ වැඩ කරපු දවසක
කැඩුණු සුලැගිලි කොට ඇත්නම්’
‘මගදි අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්’

මව විඳි මේ වේදනාව වැඩිවන තරමට දරුවා ඇයගේ ආදරය හඳුනාගනී. මවගේ එකම ආදර වස්තුව බවට පත් වීමේ නාසිස්මික(ආත්මරාගී) වුවමනාවකින් ක‍්‍රියාත්මකවන දරුවාගේ රූය බොහෝ සිංහල මව්ගුණ ගී සරලමතික බව ඉක්මවා කියවීමෙන් මවාගත හැකිය. මහගමසේකරගේ ප‍්‍රබුද්ධ කාව්‍ය සංග‍්‍රහයෙහි ද සහෘදයාට මෙබඳු පුතකු මුණ ගැසේ. සුනිල් දයානන්ද කෝණාර ‘ගමට කලින් හිරු මුලූතැන්ගෙට වඩනා’ බඳු ගීතයකින් මෙය තවදුරටත් වටහා ගනිමු.

එම ගීතයෙන් උත්කර්ෂයට නගන්නේ ඇයගේ පීඩිත ජීවිතය ය. රූපකීය භාෂාවකින් ඒම පීඩිත බව වසා දැමුවාට මේ පවසනුයේ මුලින්ම ඇහැරෙන තැනැත්තියක ගැනය. අම්මා රාත‍්‍රියේ අවසානයට නින්දට ගොස් පසුදා වේලාසනින්ම අවදි වෙයි. එය ඇයට පීඩාවක් වුවද අම්මාගේ ආදරය අප මැන ගනුයේ එමගිනි. සාහිත්‍ය කලා ලෝකයෙහි එසේ දුක් වේදනා විඳින මවුවරුන්ම හමුවන්නේ එබැවිනි. මුලූ ජීවිත කාලය පුරාම අම්මා සිනාසුණු තැන් කොපමණ තිබුණද අප ඒ්වා ලියා ඇත්තේ මඳ වශයෙනි. ඇත්තේම නැති තරම්ය. ඉසුරු චාමර සෝමවීරගේ ‘අම්මාගේ නිළි මිතුරිය’ බඳු කවියක් මෙහිදී සිහිපත්වීම වැළැක්විය නොහැකිය.

‘පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි’ යැයි ගැහැනියකට ලියන්නට සිදුවනුයේ මේ හේතුවෙනි. ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණයට(Oedipus Complex) අනුව, මව කෙරෙහි වන ආශාව අත් හරින ලෙස දරුවා බලකරනුයේ පියාය. පියා යනු මව සහ දරුවා අතරවන ප‍්‍රථම ප‍්‍රධාන බාධකයයි. දරුවා සංකේත ලෝකය(symbolic world) වෙත ඇතුළු කිරීම සඳහා මේ බාධාව අත්‍යවශ්‍යය. එහෙත් දරුවාට අනුව පියා තම සතුටෙහි බාධකය වේ. ශිෂ්ට ලෝකය වෙත ඇතුළුවීම සඳහා පියා සිදුකරන කාර්යභාරය ඔහුගේ සැබෑ සෙනෙහස ප‍්‍රකාශවන ස්වරූපය වෙයි. එහෙත් දරුවාගේ අවිඥානය විසින් එය භාර නොගන්නේ නම් ‘පිය සෙනෙහසට කොහොම කවි ගී ලියැවෙන්නද’?

 

‘නේත‍්‍රා’ ගීතයට අනුව පියාගේ භූමිකාව බාධකයක් ලෙසම දෘෂ්‍යමාන නොවුවද පුතුන්ගේ ලෝකය ඉදිරියේ පියවරුන් අර්ථකථනය වී ඇති ආකාරය පිළිබඳ කදිම සංකල්ප රූපයක් මේ ගීතයෙන් ඉදිරිපත් වේ.

‘නාලාගිරි මත්වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්’

පියවරුන් නාලාගිරියන් බවට පත්ව මව්වරුන් බුදුවරු බවට පත්වීමේ යථාර්ථය දැන් ඔබට තේරුම්ගත හැකිය. ඒ් අර්ථයෙන් සලකා බැලීමේදී පියාගේ කාර්යභාරය පිළිබඳ ශිෂ්ට සම්පන්නම විග‍්‍රහය කරනු ලබන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘ජිප්සීස්’ කණ්ඩායම විසින් බව පැවසිය හැකිය.

”එදා මට ඔබව පෙණුනෙ
හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට ඔබ පෙනෙන්නෙ
දෙවියක් වාගෙයි තාත්තෙ”

‘මව’ නමැති ‘යථ’(Real) පිළිබඳ මෙබඳු විචාරක මැදිහත්වීමක් සිදුකළ සැණින් ඇතැමුන් එය වටහාගනුයේ මවුවරුන්ට නිගා කිරීමක් ලෙසය. එහෙත් මනෝවිශ්ලේෂණයේ අපේක්ෂාව එය නොවේ. එයින් පෙන්වා දෙන්නේම මව වෙත ආපසු හැරීමෙන් අපට අහිමිවන වස්තුව මව ම වන බවයි. එනයින් පරත්වාරෝපිත නාසිස්මික විෂයාගේ පැවැත්මේ අර්බුදය වළකා ගැනීමට මෙබඳු කියවීම් ප‍්‍රයෝජනවත් වේ. ‘නේත‍්‍රා’ ගීතයෙහිදීද ‘මව’ දෙස හැරී බලන මේ නිමේශයෙහි දී මව මිය ගොස් තිබීමෙන් සංකේතවත් වන්නේ ඒයයි.

”ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්”

මේ හේතුවෙන් මව්ගුණ ගී ගයමින් පුද්ගලයාගේ දුර්වලම ස්ථානයට අමතමින් ‘කඳුළු එන්නත් කිරීමේ’ ගී රස වින්දන ප්‍රෝඩාවට එරෙහිවීම අතිශය දේශපාලනික කර්තව්‍යයකි. මව ගැන රචනා වුණු මෙබඳු විශිෂ්ට ගීත සිය ව්‍යාපාරික තක්කඩි අරමුණු වෙනුවෙන් යොදාගන්නා අමනයන් අපට යළි යළිත් පෙන්වා දෙනුයේ මවුවරුන් මෙසේ සදාකාලිකවම දුක් විඳීම ඔවුන්ගේ අපේක්ෂාව වන බවයි. එහෙත් අප මේ ගීත නැවත නැවතත් ගයනුයේ මේ අතීතයට එරෙහිව ප‍්‍රීතිමත් මවක නිර්මාණය කිරීමේ දේශපාලන ව්‍යවහාරයට අවශ්‍ය ශක්තිය ලබාගනු පිණිසය.

උපුටා ගැනීම රළ අතිරේකයෙන්

leave a reply