Breaking News

වාහනවල ටයර් පරික්ෂා කිරීම අත්හිටුවයි

ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර ඇත.

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග බොහෝ දෙනාගෙන් රජයට එල්ල වූ විවේචනය වූයේ රථ වාහනවලට අවශ්‍ය ටයර් සැපයුම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ටයර් තොග දේශීය වෙළඳපොලේ නොතිබියදී ගෙවීගිය ටයර් පරීක්ෂා කිරීම හා එවැනි ටයර් භාවිතා කරන්නන්ට දඩ මුදල් නියම කිරීම අසාධාරණය බවයි. එසේම රජයට අයත් වාහන පරීක්ෂා නොකර පෞද්ගලික වාහන පමණක් පරීක්ෂා කරන බවටද චෝදනා එල්ල විය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමගම භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ටයර් ආනයනයද ඒ අනුව සීමා කෙරිණි. මේ වනවිට දේශීය වෙළඳපොලේ ටයර් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ නිසාම ටයර් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ‍අදාල වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසා තිබේ.

leave a reply