Breaking News

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් වටය නියෝජනය හරහා ලංකාවේ සාහිත්‍ය ප්‍රකාශන කර්මාන්තය ගැන කියවීමක්.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ලංකාවේ පවත්වන ජනප්‍රියම මෙන්ම වැඩිම වෙළඳ වටිනාකමක් හිමි සම්මාන උළෙලය.
2007 වසරේදී ඇරඹි එම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 16 වන වරටය.

දැන් වන විට ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ සාහිත්‍යමය ප්‍රකාශන පළ කරන බොහෝ ප්‍රකාශකයන් අතර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් පොත් 5 නියෝජනය කරන කෘතියක ප්‍රකාශකයා බවට පත්වීමේ නිහඬ තරගයක්ද ප්‍රකාශකයන් අතර නිර්මාණය වී ඇත.

ඊයේ 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කරන කෘති ප්‍රකාශයට පත් වූ පසු මාගේ දීර්ඝ කාලීන මිතුරෙකු ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ, ‘එකම, ලේඛකයො, එකම ප්‍රකාශකයො හැමදාම මේ සාහිත්‍ය සම්මාන අවසන් වට සඳහා නම්වන බවයි.’

මෙය ලංකාවේ සාහිත්‍ය සම්මාන සම්බන්ධයෙන් නිතර ඇසෙන චෝදනාවකි. නමුත් එම චෝදනාවේ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණි.
ඉතාම හොඳ මට්ටමේ කෘතීන් කිහිපයක් කිහිප වතාවකදී අවසන් වටයට නොතේරීම හැරුණු කොට පහත වගුව ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ සම්මාන ලැබිය හැකි මට්ටමේ කෘති පළ කිරීම පිළිබඳ යම් අදහසක් ගත හැකි එකකි. (මෙය සම්මාන සඳහා නිර්දේශ වන ප්‍රකාශන ආයතන සම්බන්ධ කියවීමක් බැවින් කෘතීන් ගැන වැඩිදුර අදහස් නොදක්වමි.)
ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ අද වන විට 200 ඉක්මවූ ප්‍රකාශන ආයතන ප්‍රමාණයක් ඇතත්, ඒවායින් අති බහුතරය අධ්‍යාපන ප්‍රකාශන පළ කරන ආයතනය ය. තවත් බො⁣හෝමයක් සරළ රසවින්දනාත්මක කෘති හා යොවුන් පරිවර්තන වෙත ප්‍රමුඛතාව ලබා දෙන ආයතනය ය.

මා විසින් සැකසූ මේ සමඟ වන වගුව සකසා ඇත්තේ 2007 වසරේ සිට ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් වටය නියෝජනය කළ කෘතීන් හා එකී එක් එක් වසරවල එම කෘතීන් පළ කළ ආයතන හා එම ආයතනය පළ කළ කෘතීන් ප්‍රමාණයන් අනුවය. මෙහි අවසන් පේලි දෙකෙහි ඇත්තේ වසර 16 ක් තුළ, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් පොත් පහ⁣ට තේරුණු ගණනින් 80 ක් වන කෘති ප්‍රමාණයෙන් එක් එක් ආයතන පළ කළ කෘතින් ප්‍රමාණයන් හා ඒවායින් සම්මානිත ප්‍රකාශන ආයතන සම්මාන දිනූ වාර ගණනය.

ඊට අනුව මෙම වසර දහසය තුළ එම පොත් 80 න් 22 ක්ම පළ කරමින් පළමු තැන සරසවි ප්‍රකාශකයන්ටද, ඉන් කෘතීන් 13 ක් පළ කරමින් ගොඩගේ ප්‍රකාශන ආයතනය දෙවන ස්ථානයද, කෘතීන් 9 කට හිමිකම් කියමින් සූරිය ප්‍රකාශන ආයතනය තෙවන තැනටද පත්ව සිටියදී, ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය නියෝජනය කළ කෘතීන් 8 ක් පළ කළ විදර්ශන ප්‍රකාශන ආයතනය එහි සිව්වන තැන සිටියි. අවසන් වටයේ කෘති 80 න් කෘතීන් 6 ක් පළ කළ සුරස ප්‍රකාශන ආයතනය සිටින්නේ එහි පස්වන ස්ථානයේය.
මෙම වගුවට අනුව 2007 වසරේ සිට ස්වර්ණ පුස්තක සම්මානය 5 වතාවක් සරසවි ප්‍රකාශන ආයතනයද, තෙවතාවක් බැගින් සූරිය හා සුරස ප්‍රකාශන ආයතනද දිනාගෙන ඇත. විදර්ශන, ගොඩගේ, සදීපා හා සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන එක් වතාව බැගින් එම සම්මානය දිනාගෙන ඇත.

ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා ස්වර්ණ පුස්තක අවසන් වටය නියෝජනය කළ හැකි මට්ටමේ කෘතීන් පළ කළ හැකි ආයතන තිබී ඇත්තේ 18 කි. එයින්ද සම්මානය ලබාගත හැකි මට්ටමේ කෘති පළ කළ ආයතන ඇත්තේ 7 කි. මෙයින් ප්‍රකට වන්නේ සම්මානනීය ප්‍රකාශන පළ කරන ප්‍රකාශන ආයතන ඇත්තේ ප්‍රතිශතයක් ලෙස ආසන්නව ලංකාවේ මුළු ප්‍රකාශක ප්‍රමාණයෙන් 10% කටත් අඩු ප්‍රමාණයකි..

මෙම 18 දෙනා අතරින්ද තිදෙනෙක් පමණ දැනට ප්‍රකාශන ව්‍යාපාරය තුළ සක්‍රීයව නොමැති අතර, තවත් පස් දෙනෙකු පමණ ඉඳහිට මෙවැනි කෘති පළ කරන අයය.

ඒ අනුව සමස්ථයක් ලෙස බැලූ කල ලංකාවේ සියලු සාහිත්‍ය සම්මාන උළෙලවල සම්මානනීය ම⁣ට්ටමේ කෘති නිරන්තරව පළ කරන ප්‍රකාශන ආයතන ඇත්තේ දහයක් දොළහක් අතර ප්‍රමාණයකි. එය ලංකාවේ සමස්ථ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ ප්‍රතිශතයක් ලෙස 7% ක් පමණ ප්‍රමාණයකි.

ඒ අනුව ඔවුන් කිහිප දෙනා පළ කරන කෘති නිතර සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වීම අරුමයක් නොවේ.

Janaka Inimankada

leave a reply