Breaking News

බුර්කාව මතක්වෙන්නෙ ICU ඇඳන් මදිවෙන නිසාද?

නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා උත්සන්න වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක රෝගීන් මිය යද්දී රජයේ ඇමතිවරුන් බුර්කා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

අනන්‍යතාවය සැඟවෙන ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සරත් වීරසේකර පවසා තිබේ. මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත්තේත් ඔහු විසින්මයි. මෙම තීරණය මහජනතාවට දැනුම් දීම සඳහා ඔහු ඉතා තදියමකින් සිට ඇති බව ඔහු මෙම තීරණය ගැන දැනුම්දෙමින් දමා ඇති facebook පණිවිඩවලින් දක්නට ලැබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පසුගිය මාර්තු 16 වනදා සරත් වීරසේකර පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව තහනම් කිරීමට වන ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්ය.

කෙසේ වෙතත් ඊට පසුදින කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර තිබුණේ නැත.

එම යෝජනාවට රජයේ ඇතැම් පාර්ශවයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද විරෝධය එල්ල වී තිබුණි. ආණ්ඩුව විටින් විට බුර්කා තහනමේ කතාව මතුකිරීම සහ නැවත යට යැවීම හිතා මතාම කරන්නක් බව දක්නට ලැබෙන බව සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ අදහස වී තිබේ. ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ කොවිඩ් රෝගීන් වැඩිවෙමින් තිබෙන මොහොතක සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම ගැන තීරණ නොගෙන මෙවැනි ජාතිවාදී තීරණ ගනු ලබන්නේ රටේ ප්‍රශ්න අමතක කිරීමට විය නොහැකිද යන්නයි.

මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු දැඩි සත්කාර ඒකක පහසුකම් ලබාගැනීමට නොහැකිවීම නිසා මිය ගොස් ඇති බව ලංකා සී නිව්ස් වාර්තා කර තිබුණේ අද දිනයේයි.

මෙසේ මියගොස් ඇත්තේ මෙම රෝහලේම වෛද්‍යවරයකුගේ සොහොයුරකු බව පැවසේ.

මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට 24 දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

පෙරේදා 25 මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මියගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.

කෑගල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිත සංකූලතා ඇති දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් තිදෙනකුට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒකකයක් පැවතියත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි. එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත රෝගීන් වැඩිවෙමින් පවතින මෙවන් මොහොතක ගැටළුවක් බව සේවකයන් පෙන්වා දී තිබුණි.

මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ප්‍රධානම රෝහල ලෙස අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා ආසාදිතයන් 135ක් පමණ ප්‍රතිකාර ලැබූ අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරීගොස් ඇති බව පසුගිය 25වනදා වාර්තා විය. ඊට අමතරව අද දිනයේ අරුණ පුවත්පත වාර්තා කර තිබුණේ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි. කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා පවසා ඇති පරිදි එම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ රෝහල් 110 ම ‍කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කළුබෝවිල රෝහල් බළධාරීන් මේ දිනවල මුහුණ දී තිබෙන අනෙක් බරපතලම ප්‍රශ්නය වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසුව කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමයි. කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දෛනික අවශ්‍යතාවය ඔක්සිජන් සිලින්ඩර් 150 ක් වන නමුත් මේ වනවිට රෝහල සතු ධාරිතාවය සිලින්ඩර් 80 කට සීමා වී ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

එසේම කොවිඩ් රෝගීන් අතරින් විශාල පිරිසකට දින තුන හතරකින් පමණ නිව්මෝනියා තත්වයක් ඇතිවන බවත් හෝමාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණම කෘතීමව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති බවත් එම රෝහලෙහි කායික රෝග විශේෂඥ වෛද්‍ය එරන්ද නාරංගොඩ පවසා තිබේ.

කළුබෝවිල රෝහලේ රෝගීන් අතර ගර්භනී කාන්තාවන් 26 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙකුට ප්‍රතිකාර ලබාදීම සඳහා එක්මෝ යන්ත්‍රයක අවශ්‍යතාවය දැඩිව තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසා ඇත.

දැන් ජාති බේදයකින් තොරව සියලුම ජනතාවට අවශ්‍යව ඇත්තේ සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම සඳහාවූ තීරණ කඩිනමින් ගැනීම බව සමාජ මාධ්‍ය තුළ අදහස් පළවෙමින් පවතියි. මෙවැනි ව්‍යාජ තීරණ හරහා තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

leave a reply