Breaking News

ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වීම ගැන වසන්ත සහ ළහිරු කියන කතාව

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර සිදුවන්නේ අරගලය නව මාදිලියකින් ඉදිරියටත් ක්‍රියාත්මක වීම බව ගෝල්ෆේස් අරගලයේ නියමු සංවිධාන පවසයි.

ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුවත් අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර තිබේ.

සිදුකර ඇත්තේ අරගලයේ මාදිලිය වෙනස් කිරීම පමණක් බවයි ඔහු පවසයි.

ඒ අනුව හෙටින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පලවා හරින්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා මුද්‍රණය කරමින් ගමක් ගමක් ගානේ පැමිණෙන බව ද ඔහු සඳහන් කර ඇත.

එසේම වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ළහිරු වීරසේකර පැවසුවේ අරගලයේ පාඩම මහපොළවට රැගෙන යා යුතු බවයි. තව කවුරුන් හෝ විධායක ජනපති පුටුවේ වාඩි කරවා මේ අරගලයට මැදිහත්වූ සියලු දෙනාගේ ශ්‍රමය දියාරු කිරීමට ඉඩ නොදී මේ අරගලය ජනතාව තුළ තහවුරු කිරීමට කැපවිය යුතු බව ද ඔහු පැවසීය.

 

leave a reply