Breaking News

පිල්ලෙයාන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට හේතු දක්වා නැහැ – නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම ගැන ජාත්‍යන්තර සංවිධානවල කණස්සල්ල

ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නමුත් නීතිපතිවරයා ඊට හේතු හෙළි කර නොමැති යැයි ද වසර පහකට පසුව එසේ චෝදනා ඉල්ලා අස්කර ගැනීම ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් යැයි ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (අයි.සී.ජේ) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම චුදිතයන් නිදොස් කොට නිදහස් කිරීම මගින් මූර්තිමත් කරන්නේ යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම යැයි අයි.සී.ජේ පවසා තිබේ.

පිල්ලෙයාන් නිදොස්කොට නිදහස්කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා චූදිතයන් සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් අයුරින්ම නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව යැයි නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

පිල්ලෙයාන්ට අමතරව මේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ටීඑම්වීපී පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන එඩ්වින් ක්‍රිෂ්ණ නන්දරාජා නොහොත් ප්‍රදීප් මාස්ටර් සහ රංගසාමි කනගනායගම් නොහොත් ගජන් මාමා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ද නිදෙස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්.සුසෙයිදාසන් පසුගියදා (13) නියෝග කළේය. පසුගිය 11 දා මේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දී තිබුණේ නඩුව ඉදිරියට ගෙන යෑමේ අපේක්ෂාවක් නොමැති බවයි. ඒ අනුව මෙහි තීන්දුව ලබාදීම 13වනදාට කල් දැමිණි.

2005 දෙසැම්බර් 25 වැනි දින අලුයම 1.20 ට පමණ මඩකලපුව මධ්‍යම පාරේ ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන ලද විශේෂ නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන සුගුනම් පරරාජසිංහම් සහ සිවිල් වැසියන් 07 දෙනෙකු තුවාල ලැබීය.

මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනිණි. 2020 නොවැම්බර් 24 වැනිදා ඔහු ඇප මත මුදාහැරිණි. ඇප ලැබීමට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් පිල්ලෙයාන්ට නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී කතා කිරීමේ අවස්ථාව ලැබිණි. ඒ පක්ෂ නායකයෙකු ලෙස ය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන් ඉදිරියේදී කොන්දේසි විරහිතව වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බවයි.

මේ කතාවෙන් පසු අධිකරණයෙන් ඇප ලැබීමටත් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ව මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් පත්කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබිණි. ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය නොවැම්බර් 22 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිල්ලෙයාන් වෙත බාරදුන් බව මාධ්‍ය වාර්තා කළේය. දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් කැඳවා ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවා විසඳීමට අදාළ නියෝග නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් සතු ය.

 

leave a reply