Breaking News

“උපුලීගේ ” ජීවිතය හරහා ධාතුසේනගේ සහ කාශ්‍යපගේ විරසකය සමනය කළ ‘නිල් කට්රොල්’

හිල්මි සුපුන් 

මෑත කාලයේ පටන් ගත්, වේගයෙන් කියවා අවසන් කළ පොතක් වේ නම් ඒ මොහාන් රාජ් මඩවලගේ ‘නිල් කට්රොල්’ පරිකල්පනීය නවකතාවයි. පොත කියවා අවසන් වූ පසු මේ සටහන තබන්නේ හිතට දැනුනු අදහස් කීපයක් මුදා හැරීමේ අරමුණිනි.

ඇත්තටම මේ පොතේ මුල් පිටු කිහිපය කියවන විට මතකයට නැගුණේ අතර සී ක්ලාක්ව. ‘නිල් කට්රොල්’ පොතේ ආරම්භයේන් අතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ රසය දැනෙන්නට ගැනීම ඊට හේතුවයි. ඒ රසය ඔස්සේ ටිකක් දුර ගමන් කරන විට මොහාන් රාජ් ගමන් මග වෙනස් කර අප දන්නවා යැයි සිතාගෙන ඉන්න ඉතිහාස කතාව ඔහුටම ආවේණික වූ ප්‍රබන්ධ රසයකින් දිග හරින්නට පටන් ගන්නවා. ඒ ගමන් මඟ රසවත්ය. පසු කරන හැම වචනයක් වචනයක් පාසා ඇතිවන්නේ ඉදිරියට හමුවෙන්නට තිබෙන වචන ඉක්මනින්ම ඇසට හසු කර ගන්නට උවමනා කරන පෙරේත හැඟීමයි. එනිසා මේ කතාව කියවා අවසාන වන තෙක්ම නොඉවසිලිමත් භාවයක් පාඨකයාට ඇතිවීම නොවැළැක්විය හැකිය. එය “මී පැණි මිශ්‍ර වැල්මී රසය” සේම රසවත්ය.

මහාවංශ ඉතිහාසය කාශ්‍යප රජුට උරුම කර දී තිබෙන්නේ පීතෘ ඝාතන පිළිකුල් සහගත භාවයකි. එම පීතෘ ඝාතන පිළිකුල යටපත් කර ඉතිහාසය තුළ කාශ්‍යපට යම් තැනක් හිමි කර දෙන්නේ ඔහු මැදිහත්ව නිර්මාණය කරවූ සීගිරි රාජධානිය හේතුවෙනි. එසේ නොවන්නට කාශ්‍යප අඩු කුලයේ ගැහැනියකට උපන් කෙනෙකු ලෙස ඉතිහාසය තුළ මැකී යන්නට ඉඩ තිබුනි. කෙසේ වෙතත් මහාවංශ ඉතිහාස කරුවා තමන්ට උවමනා ලෙස සකසා තිබෙන මේ ඉතිහාසය මොහාන් රාජ් ‘නිල් කට්රොල්’ තුළ ඔහුට උවමනා කරණ ආකාරයට ප්‍රබන්ධගත කිරීම තුළ පැරණි ඉතිහාස කරුවාට අතුල් පහරක් ගසමින් මෙසේ වන්නට ඉඩ නො තිබුණේ ද යන්න ගැන පාඨකයාට හිතන්නට මේ කතාව තුළින් ඉඩ සලස්වනවා. අප දන්නා ඉතිහාසයට වඩා මොහාන් රාජ් පොත තුළ ගොඩනගන මේ කතාවට මා පෞද්ගලිකව කැමැති ය. අන් සියල්ලම යටපත් කරන රජ අණ පමණක් ක්‍රියාවට නැගුණු එකල පැවැත්ම උදෙසාම පවත්වාගෙන ගිය කුල භේදයට එරෙහිව එසේ නැගී සිටින්නට තරම් ශක්තියක් තිබුණු කෙනෙක් සිටියේ නම් ඔවුහු අපූරුය. ඒ නිසාමත් මේ කතාවට මා පෞද්ගලිකවම කැමැත්ත පළ කර සිටිමි.

කථිකාචාර්ය අමේෂ් දේවසුරේන්ද්‍ර “කැමතියි මතකය දිගේ අතීතෙට යන්න…… ” ඔහු චිත්‍ර ශිල්පියෙකි…. ඇත්තටම මේ කතාව ඇතුලේ කාල තරණය පිළිබඳ සංකල්පය ඔහු පාවිච්චි කරන්නේ හරි සූක්ෂම ලෙස ය. කාල තරණ භූමිකාව සිද්ධ කරන්නේ කථිකාචාර්ය අමේෂ් දේවසුරේන්ද්‍රය . ඔහු එක් අවස්ථාවක දී ධාතුසේන රජුගේ වුවමනාව මත “උපුලීගේ ” නිරුවත් රුව පින්තාරු කරයි. ඉන්පසුව අතුරුදහන්වී යයි.. නැවත වරක් ඔහුව අපට හමුවන්නේ සැකකටයුතු ලෙස සීගිරි උද්‍යානයේ සැරිසරමින් සිටියදී ලුහුබැඳ ගොස් කීරාළ අල්ලා ගෙන ඒමෙන් පසුව කාශ්‍යප රජුගේ ද අවසර ඇතුව සීගිරි බිත්ති මත චිත්‍ර ඇඳීමේ කාර්යය පවරා දෙන දේවමිත්ත ලෙසයි.

ඔයා කැමතිද මාත් එක්ක යන්න.
කොහාටද?
ඔයා හීනෙන් වත් හිතන් නැති තැනකට. උප්පලවන්ණා ගෙන් එසේ අසන්නේ දේවමිත්තය.

ලෝකෙ සෑම ඉතිහාස කථාවක් ම ලියැවී තිබෙන්නේ ලියන්නාගේ රුචි අරුචිකම් අනුව. ඒ අනුව ඔහු ප්‍රිය කරන චරිත ප්‍රියමනාප ලෙසත් ඔහු අප්‍රිය චරිත පජාත ලෙසත් ලියැවීම සාමාන්‍ය දෙයකි. අපගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු තිබෙන මහාවංශය ද එවන් ලියවිල්ලකි. ඒ අනුව එය සත්‍යයක් ම යැ යි අපට ප්‍රත්‍යක්ෂ කරගත නොහැක. විරසක පියපුතු කතාව නිර්මාණය කරපු මහාවංශ කතුවරයා ට වඩා වෙනස් විදිහකට මොහාන්රාජ් මේ කතාව තුළ ධාතුසේන සහ කාශ්‍යප රජ්ජුරුවෝ අවබෝධතා සහිත පුද්ගලයන් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම තුළින් පැරණි ඉතිහාස කතාව අභියෝගයට ලක් කරමින් ප්‍රබන්ධගත කරනවා. එවිට නව මානයකින් යළි හිතන්නට මඟ පාදා දෙන හෙයින්.මට හිතෙන්නේ එය මරු කියාය.

හිල්මි සුපුන්

leave a reply