රූපවාහිනී වැඩටහනකට පැමිණ සිංහරාජය අවට සිදුවන වන විනාශයක් ගැන සඳහන් කළ භාග්‍යා නම් තරුණියකට එරෙහිව විවිධ මඩ ප්‍රහාර එල්ල කරන්නවුන් වෙත පරිසරවේදීන් සහ පරිසර සංවිධාන සිය විරෝධය දක්වා තිබේ.
පහත දැක්වෙන්නේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සිය විරෝධය දක්වමින් facebook ගිණුම්වල තබන ලද සටහන් වේ.
ඇගිල්ල දිගු කර සඳ පෙන්නන විට;
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නොබලන්න
ලංකාවේ පරිසර ප්‍රශ්නය යනු කුමක්ද?
ඒ වනාන්තර විනාශයේ සිට ක්ෂුද්‍ර ජීවීන් වඳ වීම දක්වා විශාල පරාසයක විහිදී ඇත .1882 සියයට අසූ දෙකක්ව තිබූ වනාන්තර ප්‍රතිශතය 2019 වන විට සියයට 16 දක්වා අඩු වී ඇත. රටේ ජනතාවට ජීවත්වීමට හුස්ම ගැනීම උදෙසා 24% ක වත් වනාන්තර ප්‍රතිශතයක් පවත්වාගෙන යා යුතුය .එයත් නැති මොහොතක රජයේ මැදිහත්වීමෙන් වනාන්තර කපා හෙලමින් ඇත. 2020 අවුරුද්දට සෑම දිනකම වනාන්තර අක්කර 10 ක ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බවට සාක්ෂි අප සතුව ඇත.රටේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හෝටල් හැදීම සහ විදේශීය සමාගම් වල කෙසෙල්, ග්‍රීන්පීස්,උක් වැනි වාණිජ බෝග වගා කිරීම වෙනුවෙන් රජය කැළෑ කපමින් සිටී. කැලෑ කපන්නේ කුමකටද? හෝටල් සෑදීමටය. ඒ හෝටල් සංචාරක ව්‍යාපාරය හරහා ආදායම් ඉපයීමට නම් සංචාරකයන් එම හෝටල් වෙත ගෙන්වා ගත යුතුය. පරිසරය විනාස කිරීමෙන් පසු එන සංචාරකයන්ට පෙන්වන්නේ කුමක්ද? කෘෂිකර්මයෙන් රට පෝෂණය කිරීමට උත්සාහ කරන්නේ නම් පොළොවේ සාරවත්බව රැක ගන්නේ කෙසේද? වර්ෂා ජලය නොමැතිව වගා කටයුතු කරන්නේ කෙසේද?
රටකට අවශ්‍ය අවම වනාන්තර ටිකවත් පවත්වාගෙන නොයා ආර්ථිකය දියුණු කළ නොහැකි බව ඉතාමත් පැහැදිලි කරුණකි. කරුණු එසේ වුව ද භාග්‍යා විසින් පෙන්වා දෙන ප්‍රශ්නය දෙස හැරී බැලීම කළ යුතුය. පරිසරය යනු තනි ගසක්, තනි සත්ත්ව විශේෂයක් නැතිනම් පුද්ගලයින් කේන්ද්‍රකරගත් ඔවුනට අවශ්‍ය ලෙස හැසිරිය යුතු දෙයක් නොව; සියලුදේම අයත් පද්ධතියකි. ස්ථිර වශයෙන්ම රටේ ජනතාවගේ පැවැත්මට වනාන්තර ප්‍රමාණයක් අත්‍යවශ්‍යම ඉතිරි කරගත යුතුය, එය අනිවාර්‍යයෙන්ම කළයුතුය. එවන් මොහොතක භාග්‍යා විසින් පෙන්වා දෙන ගැටලුව ජනතාව ගත යුත්තේ එයා ගැහැනියක්ද, හොටු කෙල්ලෙක්ද යන අර්ථයෙන් නොව, එය දන්නා ප්‍රමාණයෙන් ඇය විසින් ප්‍රශ්නය මතු කළේය. මේ සියලු දේවල් තුළ එය ගන්නා මිනිසුන් දේශපාලනය තමන්ගේ මත සියල්ල ඔබ්බවා මේ විකෘති කරමින් සිටී. ඒ අනුව ඇය හඳ පෙන්වා ඇත. නමුත් රටේ ජනතාව මාධ්‍ය මෙන්ම දේශපාලඥයන් කරන්නේ හඳ බැලීම වෙනුවට ඇයගේ ඇඟිල්ල දෙස බැලීමයි. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව ප්‍රශ්නය වවන අය හොඳින් වටහා ගත යුතුය.
අනික් අතට ආණ්ඩුව මේ වන විට මෙම සිද්ධිය පාදක කරගනිමින් රටේ පරිසර ප්‍රශ්නයක් ඇති නොවන බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටියි. ඒ සඳහා අද දවසේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් පරිසර අධිකාරියේ සභාපති සිරිපාල සමරසිංහ සහ පොලිස් මධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් zoom සම්මන්ත්‍රණයක් ද කැඳවා තිබිණි. එයට අදාල ලින්කුව හරහා ඇතුල්වීමට උත්සාහ කළත් එයට ඇතුල්වීමට මා හට ඉඩ නොලැබුණේය. මෙම සංවේදී පරිසර ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවේ ඇති උනන්දුව හොදින් පෙන්නුම් කිරීමක් ලෙස අපට සිතා ගත හැක. මෙපමණ වන විනාශයන් සිදුවනවිට නිලධාරීන් කරමින් සිට ඇත්තේ කුමක්දැයි ගම්වැසියන්ගෙන් අසා පලක් නැත. නිලධාරීන් ගස් කපන්නන් අල්ලා ගත් විට ඔවුන්ව බේරා ගන්නට දැන් එදිරියට එන්නේ වන සංරක්ෂණ ඇමතිවරුය. පරිසරය රැකීමට ආණ්ඩුවට ඇති අමාරුව අපට මෙයින් කියවා ගත හැකිය. එම නිසා සැබෑ ප්‍රශ්නය මග නොහැර ඒ දෙසට හැරෙන ලෙස ජනතාවගෙන්, පරිසරවේදීන් ගෙන් සහ නායකයන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු.
නැවතත් සිහිතබා ගන්න.
ඇගිල්ල දිගු කර සඳ පෙන්නන විට;
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නොබලන්න.
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්
සිරස ලක්ශපතියට ආ දැරිය දෝෂයට ලක් කරන්නවුන් වෙතයි
සිරස ලක්ශපතියට ආ රක්වානේ භාග්‍යා දැරිය කීවේ ඇත්තය. කැපෙන්නේ වනය ඇතුලේද, පිටතද යන්න අදාල නැත. ගස් කපන්නට රටේ පවතින වන නීතිය යටතේ බලපත්‍රයක් උවමනාය. ප්‍රවාහනයට බල පත්‍රයක් උවමනාය. වනය සහිත ඉඩම පුද්ගලික වුවද හෙක්ටෙයාර 1 කට වඩා කපන්නේ නම් පරිසර පනත යටතේ පරිසර වාර්තාවක් සකසා අනුමැතිය ගත යුතුය. ඔප්පු තිබීම වනය විනාශ කිරීමට බලපත්‍රයක් නොවේ.
මම මොරපිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ කොනේය. මොරපිටිය රූනකන්ද මෙන්ම සින්හරාජයද වැඩි ඈතක නොවේ. මට මතක අවුරුදු 50 ක කාලය තුල වනාන්තරය කිලෝ මීටර 5 කට වැඩි ප්‍රමානයකින් ඈතට තල්ලු විය. පිටින් ආ උන්ද කැපූ බව සැබෑය. වැඩිපුර කැපුවේ මායිම් වාසීන්ය අද කොලබ වාසීන්ටද, ක්‍රිකට් ක්‍රීඩකයන්ටද එහි ඉඩම් ඇත. උන්ටද පැරණි ඔප්පු ඇත. වරෙක මොරපිටීයෙන් ගලා යන ගග ඉහත්තාවේද හෝටලයක් තනන්නට ක්‍රිකට් කීඩකයෙක් උත්සාහ දරන බව ආරන්චි විය.
දැරියට ඇගිල්ල දික් කරන්නට අපහාසයෙන් කතා කරන්නට පෙර හොරට ඉඩම් හෙලි පෙහෙලි කල උන් සුද්ධ කරන්නට පෙර ඈ කිවු කාරනය වටහා ගත යුතුය. ඇයට එලෙස ප්‍රකාශ කිරිම තුල ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇය එම සත්‍යය ප්‍රසිද්ධ මාධයයක නොපැකිල හෙලි කලේ එය ඇයගේ වගකීම බව තේරුම් ගෙනය. ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇගේ පියා ඇය කැදවාගෙන ආවේය.
නුබලා මෙතෙක් ඒ ගැන නිහඩව සිටියේ බිය නිසා නොවේද? නීතිය ගැන නොදැනුවත් කම නිසා නොවේද, ඒ ගැන උනන්දුවක් නැති කම නිසා නොවේද, පක්ශග්‍රාහිත්වය නිසා නොවේද? තමනුත් මෙම වැරැද්දම යම් හේතුවක් නිසා කරන නිසා නොවේද?
වසර 30ක් පරිසර කටයුතු කල මා මේ සියල්ල ඇත්ත බව දනී. ඊයේ දින මුතුරාජවෙල සම්බන්ධ රැස්වීමකදීද මතුවූයේ මේ කරුනය.
සල්ලිකාරයන් සමග හැප්පෙන්නට අපට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමග හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.
අපට නිවැරදි වන්නට ඇත්තේ තවත් සුලු කාලසීමාවක් පමනි. පරිසර සම්පත් එක් සීමාවකට වඩා අඩුවූ පසු නැවත ආපසු හරවන්නට නොහැහ. තවත් වසර දහයක් පමන මේ ආකාරයෙන්ම පැවතුනොත් අපට නිවැරදි කරගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.
හේමන්ත විතානගේ – විධායක අධ්‍යක්ෂ, පරිසර යුක්ති කේන්ද්‍රය