“හිස් පිටුවක්
ලියන්නට බැරි හිතක්
නුඹ යන්න ගිහින්
වචන කියාවි ද ඇත්ත
දුයිෂෙන් නුඹ
මහාචාර්ය වරිය ද නුඹ
ගෝර්කිගේ ගමන් සගයා ද
සිය දහසකට නුඹ
ගමන් සගයා ය.
මතකයන් හදපු
නළු කමෙන් නොවේ
ඇත්ත ජීවිත රඟ මඩලේ
කොලයකට ගන්න
නො හැකි හිස්කමක
බොහෝ අඩු පාඩු ඇති
මේ ගෞවරය ගනු මැන”
ෆ්‍රෙඩ්ඩ්‍රක් එංගල්ස් විසින් කාල් මාක්ස්ගේ සොහොනේ දී කරන කතාව සිහියට පැමිණේ. එය එසේ සිතන්නට පෙළෙඹෙන්නේ අපේ කාලයේ මහා මිනිසෙක් සදහටම දෙනෙත් පියාගෙන ඇති බව දැන ගැනීමේ දී ය. ඒ ජයලාල් රෝහණ නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසා ය. එංගල්ස්ගේ කතාව හෝ කාල් මාක්ස්ගේ මරණය හා එම ප්‍රකාශය සිහියට පැමිණීමෙන්, එය ඔවුන් දෙදෙනාගේ ශ්‍රේෂ්ඨත්වයට සමපාත නො කිරීමක් මෙන්ම, එය කළ නො හැකි වුවත්, එංගල්ස් විසින් මාක්ස් ගැන කරන ස්මරණය හා සම්බන්ධ සන්දර්භය අද අප අතරින් වෙන්ව ගොස් ඇති ජයලාල් රෝහණ ගැන වෙනස් විදහකට ස්මරණය කිරීම කිසිවකුටත් අගෞවරයක් වනු නො මැත. ඒ ජයලාල් රෝහණ යනු ලංකාවේ මහා මිනිසුන් අතර මහා මිනිසෙකු වී ඇති නිසා ය.
ජයලාල් පිළිබඳව මාධ්‍ය හා සමාජ ජාලා තුල කෙරන අදහස් ප්‍රකාශයන් දෙස බැලීමේ දී, පැහැදිලි වන එක් දෙයක් වන්නේ ජයලාල්ගේ පුළුල් සමාජ බද්ධතාවය යි. එය විශේෂයෙන් කලාව හා නාට්‍ය සම්බන්ධවත්, මාධ්‍යවල පල කරන අදහස් සම්බන්ධවත් ජයලාල් යනු කවරෙක් දැයි පෙන්නා දීමට කරන ස්මරණයන් ය.
ජයලාල් රෝහණ ගැන මේ තබන සටහනත් එවැන්නකට අයිති නොවේ. එය හැඳින්විය හැකි වන්නේ එක්තරා කාලයක එක්තරා මිනිසෙක් යන සන්දර්භයක සිට ජයලාල්ව ස්මරණය කිරීමෙනි. එම ස්මරණයෙන් මා තුල ඇති කරන හැඟීම් සමුදාය ජයලාල්ගේ ජීවන දැක්ම හා භාවිතාව තවත් ආකාරයකට හඳුනා ගත හැකි වනු ඇත.
කුමක් ද මේ එක්තරා කාලය. මේ කාලය වනාහී අද තරම් සන්නිවේදන පෙරලියක් ඇති කාලයක් නො වූ කාලයකි. සෘජු පුද්ගල සම්බන්ධකම් තුල මිනිස් සබඳතා ගොඩ නැගුණු කාලයකි. ඒවායේ ජීවන සාක්ෂී ඉතිරිව ඇත්තේ අපගේ මතකයන් තුල පමණි. එම මතකයන් පවා භූගත වෙමින් පවතින්නේ අප හැම දෙනාමට උරුම ධර්මතාවයක් ලෙසිනි. අඩුම තරමින් වන් ටෙන් කැමරාවක කාචයේ රුඳුණු මතකයන් පවා සොයා ගැනීමට නැති කාලයකි. මෙම එක්තාරා කාලය යනු රටක් හා සමාජයක් ලෙස පොදු වුවත්, මා සඳහන් කරන එක්තරා කාලය අයිති වන්නේ 88/89 භීෂණ සමයෙන් පසුව ව්‍යාකූල හා කම්පනයට පත් සමාජ අවකාශයක අපේක්ෂාභංග තරුණ පරම්පරාව නැවත සමාජය සොයා ගිය කාලයයි.
ජයලාල් මට හමුවන්නේ එම කාලය තුල ය. ඔහු විශාල මිනිසෙකි. ගුරුවරයෙකි, සහෝදරයෙකි. මිත්‍රයෙකි. පීඩිතායාගේ සිත කයට ආදරය කරුණාව දයාව දැක් වූ පුද්ගලයෙකි. විශාල කැපකිරීමක් මෙන්ම විශාල උවමනාවක් හා බලාපොරොත්තුවක් ඔහු තුල තිබිණි. නාට්‍යකරුවෙකු ලෙස එකල හැම දෙයක්ම සිදු කරනු ලැබුවත්, ඔහු තුල සමාජය වෙනස් කිරීමේ දේශපාලනික උවමනාව තදින් තිබිණි. මේ කතා නායකයාගේ එම උවමනාව තහවුරු කිරීමට හා ශක්තියක් සැපයීම පිණිස සිටි තවත් මිනිසුන් අතර සිටි තවත් මහා මිනිසෙකු හිටියේ නම් ඒ ශෙල්ටන් පයාගල වේ. ඔහු ද අද අප අතර නැත. මා මේ සඳහන් කරන එක්තරා කාලය තුල ඔවුන් දෙදෙනා විසින් කරන ලද කැපකිරීම් කිසිම විටක සුළුවෙන් තැකිය නො හැකි ජීවමාන සාක්ෂී අද අපිට දකින්නට ඇත. නමුත් එදා ඒ එක්තරා කාලය බලාපොරොත්තුවේ සාධනීය දිශාවට ගමන් කරවීමට ඔහුට මෙන්ම සමස්ථයක් ලෙස අපි හැමටම හැකියාවක් ලැබී නැත. ජයලාල් පුද්ගලයෙකු ලෙස සුවිශේෂී විප්ලවීය අධ්‍යාත්මක් මෙන්ම අලුත් ජීවන විලාසයක් පෙන්නුම් කරන ලද ලංකා සමාජයට සකසුරුවම් වූ මොඩලයක් වුවත්, මේ එක්තරා කාලය විපරිවර්තනය සිදු වූයේ අප කවුරුත් බලා පොරොත්තු නොතැබූ සමාජ දේශපාලනකට ය. එහි දැනුවත් ගොදුරක් බවට පත් නො වුවත්, එසේ වීමෙන් ගැලවී සිටීමට නො හැකි තරමට ජයලාල්ට සිදු වීම ජයලාල්ගේම පමණක් ගැටලුවක් නොවේ යැයි කයන්නේ නම්, එයට එරෙහි නොවනු ඇත. මේ සමාජ සිය සුළියට හසුවීම එක් අතකින් කියා පන්නේ සමාජ දේශපාලන දර්ශනයේ ඇති ගැටලුව තුල ඇති කරන හුදෙකලාභාවය නිසා ය. අනූවේ දශකය ආරම්භයේ දී, ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩ නැංවෙමින් පැවැති නොසන්සුන් කාලයේ දී, “දිරිය කැදැල්ල” නමින් සංවිධායක් ගොඩ නැගීම තුල තිබුණු අපේක්ෂාව හුදෙක් නාට්‍ය කණ්ඩායමක්ම නො වී ය. සංස්කෘතික වශයෙන් කලාව හා සාහිත්‍යය මුල්කරගෙන ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සැරි සරමින්, නාට්‍ය වැඩමුළු ද වීදි නාට්‍යය ද ප්‍රදර්ශනය කරන්නට වූ එම ව්‍යායාමයේ නියමුවා ලෙස ජයලාල්ගේ කැපවීම හා උවමනාව කිසිදු මුදල් අපේක්ෂාවක් නො වී ය. ඇත්ත වශයෙන්ම නාට්‍ය වැඩමුළු නමින් පැවැත් වූ බොහෝ වැඩ සටහන් වල ආත්මීය පදනම සැකසුණේ මාක්ස්වාදය තුලින් සාහිත්‍යය පිළිබඳ හිතීම සඳහා සමාජ සත්තා යථාර්ථවාදය මුල් කරගෙන අධ්‍යාපනයක් දීමට ය. ජයලාල්ගේ ආකෘතියේ අන්තර්ගත දර්ශනයේ එම ආලෝකය සැපයූයේ ශෙල්ටන් පයාගල විසිනි. මේ නිසාම ජයලාල්ගෙන් ශෙල්ටන් වෙන් කොට හෝ ශෙල්ටන්ගෙන් ජයලාල් වෙන් කොට මේ කාලයට නියම අර්ථයක් සොයා ගන්නේ නම් එය කළ නො හැකි තරමට මේ ද්විත්වය විසින් විශාල කාර්යයක් කරන්නට විය.
එහෙත් මේ සමාජ කාර්යය දේශපාලනික ලෙස වක්‍රව ජනතා විමුක්ති පෙරමුණේ දිශාවට යොමු වුවත්, ජයලාල් රෝහණ හෝ ශෙල්ටන් පායාගලව ජනතා විමුක්ති පෙරමුණට හරියාකාරයෙන් හසු වූයේ නැත. ඔවුන් සාධනීය විචාරකයන් ලෙස කරන ලද සමාජ දායකත්වය විසින් ගෙන ආ දෘඪ විචේචනයන් එකල ජවිපේ දුටුවේ “වාතයක්” ලෙස ය. ජවිපෙට වුවමනා වූයේ “යූස් කිරීමේ” පරමාර්ථය යි. මිනිසුන් ආත්මීය ලෙස අන්තර්ගත කර ගැනීම වෙනුවට අවස්ථාවාදීව පමණක් ඔවුන් “රම්පේ කරපිංචා කර ගැනීම මිසක, ඔවුන්ගේ ගුණයන් හඳුනාගත හැකි දර්ශනයක් ඔවුන් සතු වූයේ නැත. එය ජවිපේට මෙන්ම ජයලාල්- ශේල්ටන් පයාගලට ද අදාල වන්නේ, සමාජයක් ලෙස අදටත් පවතින ගැටලුවක් ලෙස ය.
ජනතා විමුක්ති පෙරමුණේ ඇති වන වෙනස්කම් සමඟ එළැඹෙන අනූවේ දශකයේ මැද හා පසු කාලය තුල ජයලාල් සිය දේශපාලන උවමානාවෙන් අනාත වූවා යැයි කීම නිවැරදි වේ. එය ඔහුට පමණක් නොව ඔහු සමග ඉතා සමීප හා එකට අත්වැල් බැඳගත් බොහෝ පිරිස් මේ අපේක්ෂාභංගය තුල හුදෙකලා වූ අතර, එය ජයලාල්ට බලපෑවේ ද පොදු දේශපාලන සත්වයෙක් යන උවමානව විනාශ වී පුද්ගලයෙකු ලෙස ගමන් කරමින් තමන්ගේ මාර්ගයක ගමන් කිරීමට ය. ඒ තුල පවා ඔහුගේ කැපවීම හා සමාජ උවමනාවේ තරම ප්‍රකට කරන්නේ ඔහුගේ අවසන් ගමනට එක්කර ගෞරවයේ ප්‍රථිඵලයක් ලෙස ය. මෙම එක්තරා මිනිසාගේ එම ගමන් කිරීම එක්තරා විදිහකට ඔහු තුල සිටි “එක්තරා මිනිසා” කියන සුවිශේෂී ගුණාංගය දියකර හැරීමට සමාජය සමත්කම් පෑ අතර එහි ගොදුරක් වීමෙන් අනාත වීම අප මේ ගෙවන සමාජ ක්‍රමයට දායාදයක් බවට පත් වූයේ එක අතකින් “විකටයකු” වීමෙනි. ඇත්ත වශයෙන්ම මේ මිනිසා දක්ෂ නළුවෙකු වුවත්, ඔහු හැකියාවන් අතින් බහුවිධ කුසලතාවන් සපුරා ගෙන සිටි මිනිසෙක් යන්න ඔහුව ඇසුර කරන ඕනෑම අයෙකුට වටහා ගත හැකි වනු ඇත.
ඔහු අද අප අතරින් වෙන් වී මේ තරම් ආදර ගෞරවයට පාත්‍ර වන්නේ එම කුසලතාවන් හා ඔහුගේ නියම බලාපොරොත්තුව නො වන බව මගේ විශ්වාසය යි. ලෝකය නැමැති රඟමඩලේ අපි සියල්ල නළුවෝ වුවත්, ජයලාල් නැමැති මිනිසාගේ සමාජ වුවමනාව හා සමාජය වෙනස් කිරීමේ සමාජ දර්ශනය වූයේ මේ නරුම ක්‍රමයට ඇති විවේචනය සහිත මානවවාදී බලාපොරාත්තුවයකි.ඔහු මාධ්‍යකරණයට කොපමණ ගොදුරු වුවත්, එම වුවමනාව ලැබෙන හැම මොහොතකම ප්‍රකට කරන්නට නො පැළිකිණු අතර ඔහුට එය මඟහැර සිටීමට නො හැකි එක්තරා මානව ගුණයක් ඔහු සතු ව තිබිණි.
මා මේ තබන එක්තරා සටහනේ ස්මරණයට සාක්ෂි සපයන සිය දහස් ගණක මිනිසුන්ගේ මතකයන් ඒ එක්තරා කාලයට ගමන්කරනු නොවනුමානය. ජයලාල් රෝහණ සහෝදරයා ඔබගේ සොහොනේ දී ඔබට ආචාර දක්වන්නේ නම්, මේ එක්තරා යුගයේ ඔබ සමඟ ගෙවුණු මතකයන් සිහිපත් කරන්නට පිරී ඉතිරී යන සගයන් අප අතර තවමත් ජීවත්ව ඇත.
සුන්දර මතකයන්, දුෂ්කර ජීවිතයන්, විවේචනාත්මක සිත් සතන් හා මකුළු දැළක සිර වූ මකුළුවන් ලෙස ඔබ හැර යන මේ නිහඩ බව අප සැමටම උරුම ය. ඔබ කුමන අපහසු අඩුපාඩු විවේචන මැද වුවත්, නොමැකෙන මිනිස් ගුණයන් ඉතිරි කර යන්නේ සැබැවින්ම නළුවෙකු ලෙස නොව. අපගේ කාලයේ මහා මිනිසෙකුට දිය හැකි උදාර වටිනාකමක් අපගේ මතයන් තුල ඉතිරි කිරීමෙනි.
මේ යුගයේ කලාකරුවෙකුට ලැබිය හැකි ගෞරවය ඔබ අත්කර ගත්තත්, හොඳින් දන්නා ඔබගේ සමාජ දේශපාලන පරමාර්ථයන් හමුවේ ඇති හුදෙකලාභාවය නැති කිරීමට සමත් සමාජයක් අහිමි මොහොතක ඔබේ දේහයේ හැරගිය විප්ලවීය අධ්‍යාත්මය යනු ඒ එක්තරා කලායක එක්තරා මිනිසෙකු ලෙස හැර යන ගෞවරය යි. එය මෙසේ සටහන් කරමි. ඔබගේ ශ්‍රේෂ්ඨ මිනිස් ගුණයට උපහාරයකි. ඔබට සුභ ගමන්!!!
කාලයක් එකට හිටි සගයෙක්/ උදයා