Breaking News

මේ මොහොතේ ජනතාව ජිවත් කරවීම ආණ්ඩුවේ වැඩක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

කොරෝනා ආසාදනය ව්‍යාප්තවීමත් සමඟ එය වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග හමුවෙ වුවද විශාල පිරිසක් ගැටලුවට මුහුණ දී ඇති බවත් එම ජනතාවට සහන සැලසීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශේෂ ඉල්ලීමක් සහිත ලිපියක් ඉදිරිපත්කර ඇත.

මෙම ලිපිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරය‍ අමතමින් එසේම සමාජ සේවා අධ්‍යක්ෂක, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම් සහ ආපාදා කළමනාකරණ අමාත්‍යාංශයට යොමුකර තිබේ. මෙම ලිපිය පහත සම්පූර්ණයෙන් පළ කෙරේ.

ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද රජයට යොමු කළ ලිපිය

ලේකම්,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ,
කොළඹ 07

ලේකම්තුමනි,

කොරෝනා වසංගතයෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීම
මේ වනවිට පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු 15වැනිදා සිට මේ දක්වා දින පහක නිවාඩුවක් ලබාදුන් අතර ඒ හේතුවෙන් සාමාන්‍ය ආර්ථික කටයුතු බොහොමයක් අඩාල විය. මේ වනවිට මාර්තු 20 සවස 6.00 සිට මාර්තු 23 උදේ 6.00 දක්වා දින දෙකකට වැඩි කාලයකට දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහාත්, නිරෝධායන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත් එවැනි පියවරක් ගැනීම අවශ්‍යනම් එය එලෙස සිදු කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධයක් නැත. එහෙත් මේ ආකාරයට දිගින් දිගටම ආර්ථික කටයුතු අඩපන වනවිට අවිධිමත් ශ්‍රම ක්ෂේත්‍රයේ සේවයේ නියුතු, දෛනිකව උපයන ආදායමකින් ජීවත් වන ජනතාව විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙයි. කුඩා ව්‍යාපාර කරන්නන්, ස්වයං රැකියා කරන්නන්, දෛනික කුලීකරුවන්, මෑන් පවර් කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය සතිය පුරාම ආදායමක් උපයාගත නොහැකිව ජීවත්වීමේ ප්‍රශ්නයකට මුහුණපා සිටී. එමෙන්ම මුදල් ඇති පිරිස් ඉදිරි කාලයේ අවශ්‍යතා සඳහා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය දෑ මිලට ගෙන නිවෙස් තුළ රැස් කරගත් අතර ඉහත සඳහන් පිරිසට එසේ කිරීමේ හැකියාවක් නැත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙවන් තත්වයක් තුළය. සාමාන්‍යයෙන් ලක්ෂ 40ක පමණ ජනතාවක් අවිධිමත් ශ්‍රම ක්ෂේත්‍රයේ සේවය කරන බව කම්කරු අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පවසන අතර ඔවුන් මේ තත්වය තුළ ජීවත් වීම සහ පවුලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් අභියෝගයකට මුහුණදී සිටී.

ගං වතුර, නායයාම්, නියඟ සහ සුනාමි ආදී ස්වභාවික ව්‍යසන වලදී ආපදාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සලාකයක් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කළ ආකාරයට මේ කොරෝනා වසංගතයද හදිසි ආපදා අවස්ථාවක් ලෙස ගෙන එවන් සහනාධාරයක් දිය යුතු බව අපගේ විශ්වාසයයි. මේ තත්වය හමුවේ ආදායම් අහිමිව, අත්‍යවශ්‍ය ජීවන අවශ්‍යතා පවා සපුරා ගත නොහැකිව සිටින පහල පාන්තික පවුල් පිලිබඳ දත්ත ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය භාවිතා කර රැස් කර ගැනීමත්, ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකයක් ලබා ගැනීම සඳහා වවුචරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිකුත් කිරීමත් සඳහා රජයට පියවර ගත හැක. මේ වවුචර වලින් ආහාර ද්‍රව්‍ය ලබාදීම සතොස හා සමූපකාර හරහා සිදුකළ හැක. උක්ත යාන්ත්‍රණය හෝ වෙනත් සුදුසු ක්‍රමයක් උපයෝගී කරගෙන වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. මාර්තු 20-23 කාලයේ පනවනු ලැබ ඇති ඇඳිරි නීතියට අමතරව ඉදිරි කාලයේ තවත් මෙවැනි පියවර ගැනීමට ඉඩ ඇති නිසාත්, තවත් කාලයක් ආර්ථික කටයුතු අඩපන වී තිබීමට ඉඩ ඇති නිසාත් මේ සම්බන්ධයෙන් ඔබගේ මැදිහත්වීම කඩිනමින් කරනු ඇතැයි අපේක්ෂා කරමු.
ස්තුතියි.
මෙයට

පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන්
2020 මාර්තු 20

leave a reply