Breaking News

මේත් මනුස්සයෙක්

හිල්මි සුපුන් | තරුෂ හේෂාන්

පෝලන්තයේ පිහිටි Auschwitz වද කඳවුර මිනිසුන් ලක්ෂ ගනනක් ගෑස් කාමර වල මරා දමන ලද හිට්ලර්ගේ ප‍්‍රධාන වධකඳවුරකි .එහි මිය ගිය පිරිසෙන් වැඩි කොටසක් යුදෙව් සම්භවයන් ඇති මිනිසුන්ය . 1940 ජුනි 14 වන දින හිට්ලර්ගේ පාලනය විසින් මෙය කඳවුරක් වශයෙන් නම් කරනවා. Rudolf hob , arthur liebehenschfl , richard baer යනු මෙම කඳවුරේ සිටි ප‍්‍රධාන නායකයින්ය. Auschwitz සිරකඳවුර හෙක්ටයාර් 170 ක් පමණ වන වපසරියක පිහිටා තියෙනවා. මේ අමානුෂීය වද කදවුර තුළ දී සිරගත කරන ලද පුද්ගලයන්ට දරුණු වධ හිංසනයන්ට ලක්වන්නට සිදුවුණා. මිලියන එකහමාරකට වැඩි ජීවිත ප්‍රමාණයක් මේ වද කදවුර තුළදී ගෑස් කාමර තුල හිර වී මිය ගියා. විශේෂයෙන්ම යුදෙවු ජාතිකයන්ගේ පෝරකය බවට Auschwitz කඳවුර පත් විය .

1945 ජනවාරි 27 වන දින රුසියාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව විසින් කඳවුර බේරාගන්නා අවස්ථාවේදි 7000 ක් පමන ජීවතුන් අතර සිට ඇති බව සඳහන් වෙනවා . ඒ අතර සිටී යුදෙව් සම්භවයක් ඇති ඉතාලි ජාතික ලේඛක ප්‍රීමෝ ලෙවි ලියන ලද කවියකි Se questo è un uomo . මේ එම කවියේ අනුවර්තනයයි.

මේත් මනුස්සයෙක්

සැප පහසු උණුසුම් නිවෙස් තුළ
ඔබ ජීවත්වන්නේ ආරක්ෂා සහිතව
හවස් කළ ඔබ නිවසට යනවිට
උණුසුම් ආහාර පිළියෙල කර
ඔබ එනතුරු බලා සිටීයි පවුලේ උදවිය

ඔබට සිතා ගත හැකි වේද මෙවන් පිරිමින් ගැන
මඩේ වැඩ කරන
නිදහස ගැන නොදන්න
පුංචි පාන් කැබැල්ලටත් රණ්ඩු කරන
ඔව් කීවද නැහැ කීවද වචනයේ තේරුමට නොවන
මරණයම අත්පත් වෙන

ඔබට සිතා ගැනීමට හැකි වේද මෙවන් ගැහැණුන් ගැන
කෙස් වැටිය නැති නමක් නැති
කිසිදු මතක ශක්තියක් නැති
සන්නිවේදනයක් නොමැති මලානික ඇස් ඇති
*සිසිරයේ ගෙම්බන්ගේ මෙන්
සීතලට හැකිළුණු බඩවල් ඇති

මෙහෙව් දේ ගැන මෙනෙහිකරන්න
මම උඹට අණ කරමි
නිවසේ සිටියදීත්
යන එන විටත්
කම්මැලිකමට හැකිලී සිටියදීත්
අවදි වන විටත්
ඔබ කුමන අරමුණකින්
කුමන මොහොතක සිටියත්
ඔබ ඔබේ හදවතට තදින් බල කරන්න
එහෙවු දේ මෙනෙහි කරන්න

ඔබ ඔබේ දරුවන්ගේ සාපයට ලක් නොවන්න නම්
විනාශයේ දුර්භික්ෂට හසු නොවන්න නම්
ඔබ නිවැරදිව මේ ගැන ඔබේ දරුවන්ට කියන්න

යුදෙව් සම්භවයක් ඇති ඉතාලි ජාතික ලේඛකයෙකු වන ප්‍රීමෝ ලෙවි Auschwitz කඳවුරේ සිරකරුවෙකු ලෙස ජීවිතය ගත කෙරුවෙකි . 1943 දෙසැම්බර් 13 වන දින ෆැසිස්ට්වාදීන් විසින් Valle d’Aosta ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, මුලින්ම ඉතාලියේ Emilia-Romagna හි Campo di Fossoli කදවුරේ තාවකාලිකව රදවා තබා 1944 වසරේ පෙබරවාරි මාසයේදී යුදෙව්වෙකු ලෙස Auschwitz ගාල් කඳවුරට පිටුවහල් කරන ලදී. අමානුෂික වධ කඳවුරු ජීවිතය තුළ අත්විදි අත්දැකීම් ඔහු පසුකාලීනව 1945 ජනවාරි 27 වන දින Auschwitz කඳවුරෙන් නිදහස්ව ලබා ඇවිදින් ඒවා කොළ මත රචනා කරන ලදී. ඔහුගේ වද කදවුර ජීවිතයේ අත්දැකීම් පොත් ද්විත්වයක් හැටියට එළිදක්වන ලදී Se questo è un uomo 1947 එම පොත් ද්විත්වයේ පළමු පොත වන අතර ඉහත සඳහන් කවිය පොතේ ආරම්භය වෙනුවෙන් ඔහු ලියන කවියකි. La tregua ‘1963 (විරාමය) දෙවන පොතවේ . ප්‍රීමෝ ලෙවි රසායන විද්‍යාව පිළිබඳ උපාධි ධාරියෙකි. Auschwitz කඳවුරු ජීවිතය තුළ ජීවිතය රැක ගැනීමට ද එය පිටුවහලක් වී තිබේ.

“මේත් මනුස්සයෙක්” නම් වූ කෘතිය ඔහුගේ ප්‍රථම කෘතිය මෙන්ම ලෝක අවධානයට ලක් වූ ජනප්‍රියම කෘතිය ද වේ .එහිදී ඔහු Auschwitz අඳුරු ජීවිතයේ අත්දැකීම් විස්තර කරනු ලැබේ. කෙටිකතා කරුවකු, කවියෙකු , නවකතා කරුවෙකු මෙන්ම මතක සටහන් තබන්නේකු හැටියට ඉතා ජනප්‍රිය ලේඛකයෙකි.

1919 ජූලි 31 වන දින තොරිනෝ හි උපත ලබන ප්‍රීමෝ ලෙවි ජිවිතයෙන් සමු ගන්නේ 1987 අප්‍රියෙල් 11 වනදායි . ඔහුගේ මරණය සැක පවතින්නකි. ජිවත් වූ මහල් නිවසේ රවුම් තරප්පු පෙළ අතර හිඩසින් බිමට පැන ජීවිතය නැති කර ගත්තේය . ඔහු සියදිවි නසා ගත් හේතුව පිළිබඳ ව පවතින්නේ කුකුසකි. කෙසේ වෙතත් ඔහු පුංචි කල සිට මානසික අවපීඩනයට බෙහෙත් ගනිමින් සිට තිබේ. මිය යන්නට ආසන්න කාලයේ දී පුරස්ථි ග්‍රන්ථි වල ඇති වූ බාධ හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මානසික අවපීඩනයට ගනු ලබන බෙහෙත් නවතා දමන අතර මේ හේතුව මත ඔහු ජීවිත හානි කර ගත්තාද, එසේත් නැතිනම් කඳවුරු ජීවිතය තුළ ලද කටුක අත්දැකීම් මත ඇති වූ අමතක නොවන කම්පනය හේතුකරගෙන සිය දිවිනසා ගත්තාද යන්න පිළිබඳව ස්ථිර අදහසක් නොවේ .

* සිසිර සෘතුවේදී ගෙම්බන් පස් ,කොළ යට ගුල් තුල නිරාහාරව සිසිර ඍතුව අවසන් වෙන තුරු එකම තැනකට වී සිටින අතර මෙසේ එක්තැන්ව සිටින ගෙම්බන් යළි වසන්ත සෘතුව ආසන්නයේ පස් යටින් එලියට එයි . නිරාහාරව දීර්ඝ කාලයක් සිටීම හේතු කරගෙන පෘෂ්ටිමත් ව තිබු ඔවුන්ගේ ශරීර කෙසඟ වී බඩවල් හැකිලී විරූපී ස්වරූපයකට පත් වන බව කියවේ . නිරාහාරව සිටීමෙන් පීඩාවට පත්වීම කොයිතරම් දුෂ්කරද , අත්වන ප්‍රතිඵලය මොනතරම් විකාර රූපී ද කියන එක හඟවන්නට තමයි ලේඛකයා Auschwitz කඳවුරේ සිරකාර කාන්තාවන්ව සිසිරයේ ගෙම්බන්ට උපමා කරන්නේ.

තරුෂ හේෂාන් | හිල්මි සුපුන්

leave a reply