Breaking News

දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ P to P පාගමන යාපනෙන් අවසන් වෙයි

යුද සමයේ අතුරුදන් කළවුන්ට යුක්තිය ඉටු කිරීම, උතුරු හා නැගෙනහිර ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1000ක් කිරීම යන ඉල්ලීම් වෙනුවෙන් පොතුවිල් සිට යාපනය දක්වා දිවෙන පාද යාත්‍රාව අද(7) යාපනය පොලිකන්ඩි වෙත ළඟාවී තිබේ.

එම පාගමන තුන්වැනි දිනයේදී තුන්වැනි දිනයේ ත්‍රිකුණාමලයෙන් ගමන් අරඹා ඉදිරියට යද්දී එයට ගල් මුල් ප්‍රහාර ද එල්ලවී තිබේ. කෙසේවෙතත් කඩාකප්පල්කාරී පිවර මැදින් පාගමන්කරුවන් ඊයේ සවස වනවිට උතුරු පලාතට කරා ළඟා වී ඇත.

ඊට අමතරව පාද යාත්‍රාව සමග ගමන් ගන්නා වාහන වල ටයර් වලට හානි සිදු කිරීමේ අරමුනින් ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේ යාන් ඔය පාලම ඉදිරිපිට යකඩ ඇණ තබා තිබෙනු විරෝධතා කරුවන් පොලිසියට පෙන්වා දී තිබේ. යුද හමුදා මුරපොලක් අසල පාර මැද මෙසේ යකඩ ඇණ සවිකර තැබීම නිසා මේ ක්‍රියාවේ වගඋත්තරකරුවන් සම්බන්ධ අනුමාන කළ හැකිය.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 බදාදා දියත් කරන ලද සාම පාද යාත්‍රාව නවතා දැමීම අරමුණු කරගෙන අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. නැගෙනහිර පළාතේ පොතුවිල්, කොක්කඩිචෝලේ සහ මඩකලපුව උසාවි වලට අමතරව උතුරේ මන්නාරම හා වවුනියාව මහේස්ත්‍රාත්වරයාගෙන් මෙම තහනම් නියෝග අයදුම් කිරීමට පොලිසිය කටයුතුකර තිබිණි. කෙසේ වෙතත්, යාපනය සහ මල්ලාක්කම් මහේස්ත්‍රාත් වරුන් පොලිසිය ඉල්ලූ තහංචි නියෝගය ලබා දී නැත.

ආරක්ෂක අංශ විසින් සාමකාමී විරෝධතාවකට මේ ආකාරයෙන් බාධා කිරීම නිසාම, ගල් ප්‍රහාර හා යකඩ ඇණ තැබීම සම්බන්ධ සැකයද ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට යොමුවී ඇත. ඒ නිසාම උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව සත්‍ය අනාවරණය කිරීම මෙම දින කිහිපයේ පාගමන ආශ්‍රිතවම සිදුව ඇත.

රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කර ඇති පාදයාත්‍රාවට එක්වීමට සුදානම් වී යාපනයේ විපක්ෂ දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනකු හට උසාවියෙන් තහංචි පනවා තිබේ. උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි එම්.කේ සිවාජිලිංගම් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ තමන් ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකු වෙත පෙබරවාරි 3 බදාදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්, නීතිඥ කනගරත්නම් සුගාෂ්, දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනභවන්, හිටපු උතුරු පළාත් සභාපති සී.වී.කේ සිවඥානම් ට මෙන්ම යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයන් වෙතත් තහනම් නියෝග නිකුත් කර ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

මේ අන්දමට අධිකරණ නියෝග පැනවුවද ඒ නොතකා වවුනියාවේ මව්වරු පිරිසක් කළු වතින් සැරසී රාජ්‍ය නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කරමින් සංකේතාත්මක උපවාසයක් පැවැත්වුහ.

මෙම පාමනේ මූළික අරමුණු සමග දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම හා පාස්කු ප්‍රහාරයෙන් පසු චෝදනා රහිතව අත්අඩංගුවට ගෙන සිටින තරුණ තරුණියන් නිදහස් කරන ලෙස බල කිරීමත් විරෝධයේ අරමුණු බව දෙමළ ජාතික සන්ධානයේ විසින් අවධාරණය කර තිබුණි.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් , කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගම් නායිකාවන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, මුස්ලිම් ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව සාමාන්‍ය වැසියන්ද දහස් ගණනින් විරෝධතාවයට එක්ව සිටිති.

උපුටා ගැනීම – ලංකා විව්ස්

leave a reply