Breaking News

දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණි.

ඒ ඊයේ (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුදිනයේ පිරිසක් නිදහස් කරන ලදී. ඉතිරිව සිටි 09 දෙනෙකු අතරින් පස්දෙනෙකු ඊයේ දිනයේ නිදහස් කළ අතර දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන තිදෙනා පමණක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පුදුමයට කාරණය වන්නේ මෙම තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හේතු ලෙස මොවුන්ට වෙනත් නඩු පැවතීම හේතු ලෙස සඳහන් කිරීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේ,

”20 වනදා අත්අඩංගුවට ගැනීමේදී අධිකරණ නියෝග කඩකිරීමක් තිබුනේ නැහැ, පොදු දේපල හානිකිරීමක් ගැන චෝදනාවක් තිබුනේ නැහැ. දුමින්ද, ළහිරු සහ ජිනරතන හිමි ඇප ලබා නොදීමට පොලීසිය ඉදිරිපත් කරපු කරුණු ගත්තට පස්සේ දේශපාලන කතාවක් මේ පිටුපස ඇති බව පැහැදිලියි. පොලිසිය අන්තිමේ අධිකරණයට කිව්වේ මේ අයට වෙනත් නඩු තියෙනවා ඒ නිසා මේ අයව රිමාන්ඩ් කරන්න ඕනා කියලා. ලංකාවේ නීතියට අනුව නඩුවකට ආවේ නැහැ කියලා තව නඩුවකදී රිමාන්ඩ් කරන්න බැහැ. අනිත් එක වෙනත් නඩුවලට ආවේ නැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. දුමින්ද සහෝදරයා ගත්තොත් නඩුවකට නොපැමිණීම නිසා ඔහු වරෙන්තු වෙලා නැහැ. අඩුම නඩු අංකයක් පොලීසියට කියාගන්න බැරි වුනා. ළහිරු වීරසේකර සහෝදරයා අසනීප වී නඩුවලට නොපැමිණි අවස්ථා කිහිපයකදී වරෙන්තු නිකුත් වෙලා තිබුනා. නමුත් ඒ සියල්ල මෝසමක් හරහා නැවත ඉවත්කරගෙන තිබුණා. අන්තිමට පොලීසිය ඉදිරිපත් කරේ 2022 ඔක්තෝමබර් මාසේ ළහිරු සහෝදරයා සම්බන්ධ නඩුවක් තියෙනවා, ඒකට ඔහු සම්බන්ධ වුනේ නැහැ කියලා. හැබැයි එහෙම නඩුවක් ඔහුට දැනුම් දීලාවත් නැහැ. දුමින්ද සහෝදරයාටත් EPF කප්පාදුවට එරෙහි නඩුවක් තියෙනවා ඊට සහභාගී වුනේ නැහැ කියලා කිව්වා. මේ දෙකම සම්බන්ධයෙන් අඩුම නොතීසි නිකුත් කිරීමක් කරලා නැහැ. දන්නේ නැහැ. නඩුවක් කැඳවලා නැහැ. නමුත් ඒ දෙකටත් නැවත අලුත්කඩේ අධිකරණයේ ඇප ගත්තා. එහෙම තියෙද්දී කිසිම පිළිගත හැකි හේතුවක් නැතුව තව නඩු තියෙනවා කියලා තමයි දැන් මේ ඇතුලට දාලා තියෙන්නේ. මේක ලංකාවේ පොලීසිය වැඩ කරන විදිහ සම්බන්ධයෙන් ඉතා හොද නිර්ණායකයක්. විශේෂයෙන් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව කොහොමද දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කරන්නේ. දැන් මේ ශ්‍රී ලංකා පොලිසියක් නෙමේනේ තියෙන්නේ. ටිරාන් – දේශබන්ධු පොලීසිය වැඩකරන විදිහ ඉතාම පැහැදිලිව පේනවා. ”

leave a reply