ඔබට ඔබ මනුෂ්‍යත්වයෙන් පිරිපුන්, අනුන්ගේ දුකකදී හද උණුවන අවංක සුන්දර දේශමාමක රටවැසියකු බව අන් අයට පෙන්වීමට අවශ්‍යද? එසේත් නැතිනම් එය තමාට ම ඒත්තු ගන්වා ගැනීමට අවශ්‍යද? මෙන්න අත්දුටු ක්‍රමයක් ..ඔබත් අදම ඔබේ රැකියා ස්ථානයේ, පාසැලේ, පන්සලේ, රෝහලේ , මරණාධාර සමිති ශාලාවේ…සුභාවිත ගී රසවින්දන වැඩ සටහනක් සංවිධානය කරන්න. සම්පත් දායකත්වය සදහා කවියෙක්/ගේය(????)පද රචකයෙක් හා ඇලෙස්තාවේ හිම දියවීම පිලිබදව වගේම මහ කන්නයේ රජරට කුඹුරුවල කුඩිත්තන් ගී කියන හේතුවද එක ලෙස පහදන විචාරකයෙකු සොයා ගන්න..සියලු පිරිවැය ඔබේ නගරයේ සල්ලිකාර මුදලාලි හා කරපටි ධාරි රජයේ සේවකයින් මුරුංගා අත්තේ තබා ලබා ගන්න.
දැං කලා රසවින්දන සිදුවන්නේ එහෙමය.
හැමෝම බබා පාර්ට්ය.ලංකාවේ ඊනියා මැද පංතිය අතර වඩා ප්‍රචලිත කලාංගය ගීතයයි.(මෙගා ටෙලි බඩවැල් ඇරුන විට) ඉනුත් සුභාවිත ගී යැයි අරුම පුදුම ගී විශේෂයක් තිබේ…අනිවාර්යයෙන් මේවාගේ පෙකෙනි වැල කැඩී ඇත්තේ 60/70/80 දශක වලය.ඒ ගීතවල මානව දයාව මීවදයක පැණි මෙන් පිරිලාය.
ආදරය මිරිකා ගත හැක.ලිංගිකත්වය වගේ කුණුහරුප ඇත්තේම නැත.
තියෙනවානම් අම්බානක හංගලාය.අටුවා,ටීකා ,ටිප්පනි විසදා මිස ඒ කෑල්ල තේරුං ගන්ඩ අමාරුය.මේ ගීතවල භාෂාවත් අමුතුය.තේරෙන්නේ නැත නොතේරෙන්නේ ද නැත.මධ්‍යමහා විද්‍යාල වලින් ඉගනගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි තැනකින් කලා උපාධියක්තියෙන හාදයෙක් අල්ල ගත්තොත් මේ ගී හරියටම තේරුම් ගත හැක.මේ ගීවර්ගයට අනුව ගම පට්ට සුන්දරය.එහි වෙසෙන්නෝ දේවත්වයට ආසන්නය.නගරය යනු තක්කඩින් පිරුන තැනකි.මේ ගීත වල නිතර නිතර පලිප්පු ලා ඔසවා තබන චරිත කීපයකි.එකක් දුප්පත් අම්මාය.ආයෙ දෙකක් නැත මතු බුදුවනවාමය..තාත්තාත් එහෙමය..දරුවන්ට උගන්වා ඉහලට ඇරීම හැර වෙන වැඩක් කරලාම නැත.
ඊලගට ගුරුවරයාය..හම්බෝ…උගැන්වීමට ඉපිද ඇත. රහසින්වත් පවු කර නැත. මේ රසවින්දනයට එන හැම පුද්ගලයාම අනිවාර්යෙන් මේ ගුරුදෙවි වන්දනාව කරති. ලිංගික ශ්‍රමිකයන්ද මේ සුභාවිත ගීතයේ නිතර හමුවෙයි..සුභාවිත පිරිමි මේ ශ්‍රමිකාවය වෙනුවෙන් පොලොවේ පස් කයි. මේආකාරයට චරිත තව ඉදිරියට දිග්ගැස්සිය හැකිය.
මේ සුභාවිත ගී ගායනා කරන ගායක ගායාකාවෝද හරි අමුතුය. ඇඳුමුත් අමුතුය. කතා බහත් අමුතු ය. කට ඇරියොත් වැගිරෙන්නේ මානව දයාවය. අනිවාර්යයෙන් වෙල් ඉපනැල්ලේ දුවපු අතීතයක් ඇත. කන්න කැමති පොලොස් ඇඹුල්ය. පොලොස් කෙසේවෙතත් මොවුන් පතෝල වැනිය.
සාමය නැගලා යනවිට සාමය ගැන ගයයි.
කිසි හිරිකත් නැතුව ඒ කටින් ම යුද්ධය නැගලා යද්දි යුද්ධය වෙනුවෙන් ගයයි.මොන මානව වාදය දැම්මත් අත්තිකාරම් දැම්මෙ නැතිනම් කට ඇරෙන්නෙ නැත. තම කීර්තිනාමය භාවිතා කරමින් රටේ එදිනෙදා ජන ජීවිතයට බලපාන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නෙ නැත.ඒ වෙනුවට රූපවාහිනි නාලිකාවක හෝ වේදිකාවක සුවපහසුව හිදකෙල තොල්ලන් සේ මනුස්සකම, ගැමිකම, අතින් අල්ලන්නෙවත් නැතුව පෙම් කල හැටි ගැන වමාරති.
මේ සුභාවිත ගී රසවිදින ජනතාවද හරි වෙනස්ය. අරුම පුදුමය. භාවනාවක් වැනිය. ගල්ටික්ය. නෙත් අඩ වන්ය, ඇඩෙන්න ඔන්න මෙන්නය, දෙතොල් තදින් පියයාය. ගීතයක රිද්මයක් කියා යමක් තිබෙන වග නොදන්නා ගානය. පාදයක්වත් සෙලවෙන්නෙ නැත.
පුදුම තරං මානුෂිකය. රහසින්වත් පව් කර නැත.මාධ්‍ය මගින් උඩ දාන සැබෑ ධාතු වන්දනාවේ සිට ඕනෑම ගුලියක් සැකක් බයක් නැතුව ගිල දාන්නේ මොවුන්ය.
කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර විය යුතුයැයි කතාවක් තිබේ..
මේ සුභාවිත රසවින්දනයන් නම් අවසන් වන්නෙ ගම්මැදි හෑලි වලිනි.
ප්‍රඥාව දැල්වෙන්නෙ ආනන්දයෙන් මත්ව ආනන්දයත් සමග නිදි වදින විට නොව පියවි සිහියෙන් ඉද ආනන්දයෙන් ගේම ඉල්ලන විටය. සම්මා සම්බුදු අම්මාවරුනේ කියන රටක දරුවෙක් නොමැති විවාහක ස්ත්‍රිය වද ගෑනි ලෙස කානුපල්ලට විසිවීමත්, දරුවෙක් ලද අවිවාහක ස්ත්‍රිය වේසියක් වීමත් පෙනෙන්නේ එවිටය. තාත්තා වුනත් මම බත සරිකරන ගීතයේ…අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින කියන තැන දරුවන් මගෙ වුනේ කෙසේ දැයි පිරිමි කතකයාගෙන් විමසිය යුතුය.. දරුවන් දෙදෙනාගෙමය… ආවාට තිබුනත් නිසසල සද මත කියන විට… කන්‍යාභාවය නැති වීම ආවාටයක් වන්නේ කෙසේදැයි විමසිය යුතුය..සුදු නෙලුම ගීතය ලියවුනු හැටි පාරට්ටු කරන විට (රත්න ශ්‍රී කියන විදියට ඒ මළගමට සහභාගි වූ දෙතුන් දෙනා හඩා වැලපී නැත..නමුත් අමරදේවගේ ගායනය ඇසු කොළඹ ප්‍රේක්ෂකාගාරය හඩා ඇත)
එවිට සංස්කෘතිය කියන මතු මහල ගොඩනැගෙන ආර්ථිකය කියන පාදම ගැන අවදි මනසකින් බැලිය යුතුය…සද හොරෙන් හොරෙන් හොරෙන් බලා කියන අමරදේව එක්කම අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න ..අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න කියන ජෝතිපාලත් සංසංදනාත්මකව කියවිය යුතුය..
කලාව ගංකබර සුභාවිතයන්ගෙන් බේරා ගනිමු..
උපුටා ගැනීම ඇලපිල්ල සඟරාවෙන්