Breaking News

රිහානා සහ ග්‍රේටා තන්බර්ග් ඉන්දීය ගොවි අරගලයට සහාය පළකරයි

නව කෘෂිකාර්මික පනත්වලට එරෙහිව මාස දෙකකට ආසන්න කාලයක සිට ඉන්දීය ගොවියන් ගෙනයන අරගලය වෙත ඇමරිකානු පොප් ගායිකා රිහානා සහ පරිසරවේදිනියක වන ග්‍රේටා තන්බර්ග් සිය සහාය පළ කර සිටියි.

ඉන්දීය ගොවි අරගලය පිළිබදව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබු ලිපියක් සමග විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කර ඇති රිහානා, “අපට මේ හඩ නෑසෙන්නේ ඇයි ?” දැයි ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම ග්‍රේටා තන්බර්ග් ද, සී.එන්.එන් සේවයේ එම වාර්තාව ම උපුටා දක්වමින්, ඉන්දීය ගොවියන්ගේ අරගලය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පවසා තිබේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් මේ දෙදෙනාටම විවිධ විවේචනවලට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අතරින් බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන කන්ගනා රනවුට් රිහානගේ ප්‍රතිචාරය විවේචනය කරමින් පවසන්නේ අරගල කරමින් සිටින්නේ ත්‍රස්තවාදීන් බවයි. කන්ගනා, මෝදී ආණ්ඩුවට ප්‍රභල ලෙස සහයෝගය දක්වන්නියක් ලෙස සැළකේ.

කෙසේවෙතත් ඉන්දීය ගොවි අරගලය මෑතකාලීනව ඉන්දියාවේ ඇතිවූ විශාලතම මහජන අරගලයක් වුවත් බොහෝ බොලිවුඩ් නළු නිළියන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දැකිය හැක.

leave a reply