මේ කථාව විදෙස්ගත ලාංකීය ශ‍්‍රමිකයා මැදිවී සිටින ගැටලූ රාශියක් පිළිබඳවය. කථාව ආරම්භ කරන්නේ කොතනින්දැයි තෝරාගැනීමට අපහසු ආකාරයට ප‍්‍රශ්න ගොඩගැසී ඇත. වසංගත තත්වයක් තුල තම කටයුතු සංවිධානය කරන්නේ කෙසේද යන්න සිතා බලන්නට ප‍්‍රමානවත් කාලයක් ගතවී තිබුනත් මිනිසුන් අපහසුතාවයට ලක් නොකර කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නට ඔවුන් තවමත් අපොහොසත්ව ඇත. ඉහල සිට පහලට වල්වැදී ඇති රාජ්‍යයකින් කුමක් බලාපොරොත්තු වන්නද එසේනම් ජනතා අයිතීන් දිනා ගන්නට හඩ නැගිය යුතුමය.
විදේශගත ලාංකිකයා මැදිවී සිටින ගැටලූ රාශියකි.
හදිසියකදී හෝ ගසාකෑමෙන්/සූරාකෑමෙන් තොරව තම රටට යන්නේ කෙසේද කවදාද යන ගැටලූව. පොදුවේ විදෙස්ගතව රැකියා කරන ලාංකිකයින්හට ලංකාවට යෑමට ඒමට පහසු මගක් තවමත් නිර්මාණය වී නැත. කෝවිඞ් වසංගත තත්වය තම ජාවාරම කරගනිමින් කටයුතු කිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව වී තිබේ. ඒ නිසා ගුවන් ටිකට්පතේ සිට පීසීආර් හොටෙල් නිරෝධායන ආදිය සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇත. මෙහිදී ඉතා පහසුවෙන් නිසි නියාමනයක් යටතේ තම නිවෙස් තුල නිරෝධායනයට යොමු කිරීමට හැකියාව තිබුනත් එය නොකරමින් සිටින්නේ ගසා කෑමට හැර වෙන කුමකටද. ඉතාලි සහ එංගලන්ත අත්දැකීම් සලකා බලන විට මෙය තවත් තහවුරු වේ. මැදපෙරදිග කලාපයේ සේවය කරන අයගේ තත්වය ඉතා බරපතලය. ඔවුන්ගේ ගැටලූව රැකියා අහිමිව වැටුප් අහිමිව නවාතැන් අහිමිව ඉන්නට කන්නට දෙයක් නැතිව කාන්තාරයේ අතරමංව කිසිදු හවුහරනක් නොමැතිව අසරණවී සිටීමයි. එවන් අසරණ කමකට මුහුණදී සිටින එම ජනයා වෙනුවෙන් හෝ සහනදායී ක‍්‍රමවේදයක් අනුගමනය කල යුතුය. ඔවුන්වද මේ ආකාරයට සූරාකෑම ශිෂ්ටසම්පන්න රටකට තරම් නොවේ. එය තවත් තහවුරු වන්නේ අනෙක් සියලූ රටවල් ඔවුන්ගේ ජනයා තම රටවලට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබීමයි. ඔවුන්ගේ තත්වය තේරුම්ගෙන එයට ප‍්‍රමුඛතාවය දී එම ගැටලූව විසඳීමට මැදිහත්වන රජයක් නොමැති වීම අප රටේ ජනයාගේ ඛේදවාචකයයි.
මැදපෙරදිග කලාපයේ ශ‍්‍රමිකයින්ට ප‍්‍රමුඛතා වැඩපිළිවෙලක් සකසන්නේ කවදාද
ඊටම එක්වුන තානාපති කාර්යාලවල කටයුතු සිදුවන ආකාරයද ඉතා ශෝචනීයයි. මැදපෙරදිග කලාපයේ මේ මොහොතේ ප‍්‍රමුඛ ගැටලූව වන්නේ අසරණවී සිටින තම රටේ පුරවැසියන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි. එහෙත් එවන් වගකීමක් තමන්ට ඇතිබව හෝ ඔවුන් දන්නේදැයි සැකයකි. වෙනත් රටවලට අවධානය යොමුකරන විට ඇත්තේ වෙනත් ගැටලූය. බැලූ බැල්මට ඉතා පහසුවෙන් ඉටුකල හැකි කටයුතු පවා ජනයා පීඩාවට පත්කරන ගැටලූ බවට ඔවුන් විසින්ම පත්කර තිබීම ඛේදවාචකයකි.
ඉතාලියේ තානාපති සේවයේ නොහැකියාව
ඉතාලියේ රෝමයේ තානාපති කාර්යාලය හා මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයේ කටයුතු අතර ඇත්තේද වගකීම් විරහිත තත්වයකි. මේ දිනවල යුරෝපයට තද සීතලය. කොරෝනා සමග කටයුතු කිරීමද මන්දගාමීය. එසේනම් කටයුතු සැලසුම් කල යුත්තේ ඒ සියල්ල සලකා බලාය. දැන් සීත කාලයෙන් සැලකිය යුතු ප‍්‍රමානයක් ගෙවීගොස් තිබියදීත් කිසිදු සැලැස්මක් නැත. මිලානෝ කොන්සල් කාර්යාලය දිනකට ඇතුල්කර ගන්නේ 45 දෙනෙකු පමනි. එම ප‍්‍රමානයට හෝ සේවා සපයන ඔවුන් රස්තියාදු නොකරන කිසිදු වැඩපිළිවෙලක් සකස්කර නොතිබීමයි. දින වෙලාවන් කලින් වෙන්කරවාගෙන සේවා සැපයීමේ ක‍්‍රමයක් පහසුවෙන් සකස් කල හැකි වුවත් මේ දක්වා ඊට අවධානය යොමුකර නැත. කිසියම් අංක ප‍්‍රමානයක් දිනකට නිකුත් කිරීමත් ඊට අමතරව හදිසි කටයුතු වෙනුවෙන් තවත් කොටසක් වෙන්කිරීමත් කරන්නේනම් පැමිනෙන්නන්ට ඉතා පහසුය. මිනිසුන් පැමිනෙන්නේ දුර ගෙවාගෙන මුදල් වියදම් කරගෙන රැකියාවන්ගෙන් නිඩාඩු අරගෙනය. එසේ පැමිනියත් තම කාර්යය කරගැනීමට හැකිවේදැයි කිසිදු සහතිකයක් නැත. මේ වන විට පාන්දර 3.00 සිට මිනිසුන් පැමින එහි රැඳී සිටී. පැමිනෙන්නන් විසින්ම කොලයක් ගෙන පැමිනෙන ආකාරයට නම් ලැයිස්තුවක් සකස් කරයි. ඒ වෙනත් ක‍්‍රම මගින් තම අවස්ථාව අහිමිවේයැයි යන බියද සමගිනි. තම පුද්ගලික වාහනයක යන කෙනෙකුට යම් සහනයක් ඇත. ඒ තානාපතිකාර්යාලය විවෘතකරන තුරු සීතලෙන් ආරක්ෂාවීමට හැකි නිසාය. එහෙත් පොදු ප‍්‍රවාහන සේවා භාවිත කරන අයට මුලූ කාලයම රැඳී සිටීමට සිදුවන්නේ සීතල කාගෙනය. කුඩා දරුවන් සමග පැමිනෙන අයවලූන් පත්වන්නේ ඉමහත් අසීරුතාවයකටය. ඒ අතර මෙය ආදායම් මාර්ගයක් කරගත් පිරිසක්ද සිටී. ඒ දුරබැහැර සිට පැමිනෙන අය වෙනුවෙන් ඒ ප‍්‍රදේශයේ වාසය කරන අය පැමින නම ලියා ඔවුන් පැමිනි පසු යුරෝ 20ක් හෝ 30ක් ඒ වෙනුවෙන් අයකර ගැනීමයි. ගිය සතියේ පාන්දර 4.00ට ගිය හිතවෙතෙකුට ලැබී තිබුනේ අංක 8ය. ඔහු යන විටත් තවත් 7 දෙනෙකු පැමින සිටි අතර ඔවුන් පවසා තිබුනේ පාන්දර 3.00 සිට තමන් සීතලේ ගැහි ගැහි මෙහි සිටින බවයි. පාන්දර 5.30 වන විට එදිනට අදාල අංක 45 සම්පූර්ණ වී ඇත. උදේ 9.00 වන විට පැමින සිටි පිරිස 70 ඉක්මවා තිබුනි. ඉතින් ඒ අයට සිදුවන්නේ හිස් අතින් ආපසු හැරෙන්නටය. එසේ හිස් අතින් යන්නට සිදුවන්නේ ඇයි එසේ නොවී එය වලක්වන්නට ඉතා පහසුවෙන් හැකියාව තිබුනද ඊට වගකීම ගන්නට කිසිවකුත් නැත. තාක්ෂණය මෙතරම් පහසුවෙන් භාවිතා කරන්නට හැකියාව තිබියදී පවා කලින් දින සහ වෙලාවන් වෙන්කරදී මෙම කටයුත්ත පහසු කරන්නට ඇති හැකියාව ජනතාව වෙත ලබා නොදෙන්නේ කාගේ වුවමනාවටද නොඑසේනම් නොසැලකිල්ලටද එසේ පාන්දර සිට පැමිනෙන අයවලූන්ගේ කටයුතු අනුව එදින හවස් වන තුරුම රැුඳී සිටීමට සිදුවේ. සාමාන්‍ය කාර්යාල වෙලාව වන්නේ සවස 3.30 වන අතර සමහර දිනවල පැමිනෙන්නන්ගේ බලපෑම නිසාම සවස 5.30 දක්වාද කටයුතු කර ඇත.
රෝමයේ තානාපති කාර්යාලයේ තත්වයද මීට වෙනස් නැත. දිනකට එහි අංක 60ක් පමන ලබා දේ. එහිදීත් ජනතාවගේ බලපෑම මත සමහර දිනවල එය 100 දක්වා වැඩිවී ඇත. එහිද පාන්දර 2.00 සිට පැමිනෙන ජනතාවට ඉන්නට ඇත්තේ දෙතුන් දෙනෙකුට සරිලන ඉඩක් පමනි. නාපෝලි වැනි නගර වලින් තානාපති කාර්යාල කටයුතු සඳහා පැමිනෙන්නන්ට වෙනම සේවා සපයන ඒජන්සි කරුවන්ද බිහිවී සිටී. මේ වන විට වෙනදාට වඩා වැඩි මුදලක් ඔවුන් අයකර ගනී. ඒ ප‍්‍රවාහන කාර්යයට අමතරව අංකයක් ලබා දීමේ කටයුත්තද ඔවුන් බාරගෙන තිබෙන බැවිනි. එහිදී සිදු වන්නේ පාන්දර සිට අංක ලබාගැනීමට පැමිනෙන්නන් පෝලිමේ සිටින අතර මෙසේ ඒජන්සි කරුවන් වෙත අවශ්‍ය අංක වෙන්කර දීමට කාර්යාලය ඇතුලත කිසිවකු කටයුතු කිරීමයි. තානාපති කාර්යාලයට වේලාවට පැමිනෙන එම ඒජන්සිකරුවන් කාර්යාල තුලට ගොස් අදල වෙන්කල අංක ගෙන තමන් සමග පැමිනි අයවෙත ලබා දේ. එවිට පාන්දර පෝලිමේ සිටිය අයවලූන්ද පසුකර ඔවුන්ගේ කාර්යයට අවස්ථාව හිමිවේ. ඒ අතර තානාපති ජංගම සේවාවන්ද විටින් විට ක‍්‍රියාත්මක වුවත් මේ දිනවල එයද ඇනහිට ඇත. එවන් කටයුත්තක් සංවිධානය කිරීමේදී පවතින්නේද තානාපති සේවයට ආවේනික වූ දේශපාලන ගැතිකමමය. ඒ නිතරම එම සේවාව සංවිධානය කිරීමේ අවස්ථාව හිමිවන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාතී සංවිධාන හෝ කණ්ඩායම් වලටය. කෙසේ වෙතත් පෙබරවාරි 26 සහ මාර්තු 6 දිනයන්හි නාපෝලි නගරයේ තානාපති ජංගම සේවා පවත්වන බවට පොදු පෙරමුණ හා සිංහල සංවිධානය නමින් දැන්වීම් පලකර තිබුනි. නමුත් 23 වන දින වන විට කොරෝනා නිසා එය අවලංගු කල බවට දැන්වීම් පලකර තිබුනි. එහෙත් තානාපති කාර්යාල වෙබ් පිටුවේ ජංගමසේවය පිළිබඳ කිසිවක් සඳහන්ව නොතිබුනි. එය පැවැත්වීම හෝ අවලංගු කිරීමට අදාල කිසිවක් එහි සඳහන්ව නොතිබුනි. එහිදී මතුවන්නේ ගැටලූවකි. යම් හෙයකින් ජංගම සේවය එදින පැවතියා නම් එදින රෝමයේ තානාපති කාර්යාලයට පැමිනෙන්නන්ට සිදු වන්නේ රස්තියාදු වී හිස් අතින් යන්නටය.
සැමදාම වාගේ සිදුවූ ආකාරයට මේ මොහොතේද සිදුවන්නේ ලාංකීය ජනතාවට සරිලන සේවාවක් සැපයීමට ඔවුන් අසමත් වීමයි. එයට මූලිකම හේතුව වූයේ පත්වී එන තකානාපතිවරයාගේ සිට බොහෝ අය දේශපාලන හෙන්චයියන් වීමයි. ඔවුන් කිසිසේත්ම ජනතාවට වගකියන්නේ නැත. ඒ අතර සිටිනා අවංක නිළධාරීන්ගේ කැපවීම නොවන්නට මේවා මෙයටත් වඩා අකාර්යක්ෂම ආයතන වේ. ඉහත දැක්වූ කරුණු වලට අමතරව අදාල ලිපි ලේඛණ බාරදී තම ලේඛණ ලැබෙන තුරු විශාල කාලයක් බලා සිටීමටද බොහෝ පිරිස් වලට සිදුවී ඇත. ගමන් බලපත උප්පැන්න සහතික පුරවැසි සහතික නැවත ලබාදීමට වැඩි කාලයක් ගතවන නිසා ඉන්ද බොහෝ දෙනෙක් අපහසුතාවයන්ට ලක්වේ. ඒ විතරක් නොවේ තම අවශ්‍යතා අනුව එම ලේඛණ ඉක්මනින් ලබා ගැනීමට දරණ උත්සහයන් වලදී විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවීමට සිදුවී ඇති බවද අප හොඳාකාරවම දනිමු. වෙනත් ලිපියකින් ඒ පිළිබඳ සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට අප පසුබට නොවෙමු. ඒ නිසා රෝමයේ තානාපතිකාර්යාලයට හා මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයට අප දැඩිව කියා සිටින්නේ තවදුරටත් ජනයා පීඩාවට පත් නොකර තම සේවාව වගකීමෙන් ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.