ලෙනින් – ලැංග්ස්ටන් හියුස්ගේ කවි

අද, ලෙනින් සමුගෙන 97 වසරක් සටහන්වන දිනය.

ඇතැමුන් ඔහු හඳුන්වන්නේ රුසියානු සමාජවාදී (ඔක්තෝබර්) විප්ලවයේ නියමුවා ලෙස. තවත් සමහරුන්ට ඔහු ආඥාදායකයෙක්. නමුත්, පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ලොව පුරා තවමත් අඛණ්ඩව ගලායන දේශපාලන අදහසක් ප්‍රායෝගිකව අත්හදා බැලීමට, යථාර්ථයක් ලෙස ස්ථාපිත කරන්නට කටයුතු කළ, නායකත්වය දුන් පුද්ගලයකු ලෙස ඔහු තවත් දිගු කාලයක් ලොව සංවාදයට මෙන්ම විවාදයට, අපවාදයට මෙන්ම සම්මානයට හා විචාරයට ලක්වනු ඇති.

ෆේස්බුක් පිටුවේ වර්ණගන්වන ලද ලෙනින්ගේ ඡායාරූපාවලියක් පළකර තිබුණා. වාමාංශික වෙබ් අඩවිවල ලෙනින් මිය ගිය දිනය ලෙස අද විවිධ ස්මරණ සටහන්, විශ්ලේෂණ පළ වී තිබෙනවා.
ඒ අතර, ලෙනින් සම්බන්ධයෙන් ලියන ලද කවිත් අවධානයට ලක්ව තිබුණා. පහත මා පරිවර්තනය කරන්නේ එවැනි කවි දෙකක්. මේ කවි දෙකම ලෙනින් මිය ගිය පසුව, ‘ලැංග්ස්ටන් හියුස්’ විසින් ලියූ කවි.

එක්සත් ජනපදයේදී අප්‍රිකානු අමෙරිකානුවන්ට සිදුවන කෙනෙහිලිකම් සම්බන්ධ චිත්‍රපටයක් තැනීමේ අරමුණින් ඔහු 1930 දසකයේදී සෝවියට් දේශයට ගිය බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.

ලැංග්ස්ටන් හියුස්, (James Mercer Langston Hughes/ 1901 -1967) අප්‍රිකානු අමෙරිකානු කවියා, වඩාත් ප්‍රසිද්ධ වූයේ හාලෙම් විරෝධතා ව්‍යාපාරයේ නායකයකු ලෙසයි.

ලෙනින්
ලෙනින් පියවර තබයි
ලෝකය වටා ….
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට…
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට…
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්….
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු…
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර

රතු තරුවක්!

ලෙනින් උපහාරය
ඔසවා තබන ලද මාබල් සොහොනේ
ඉඩක් දෙන්න මට පසෙකට වී
ලෙනින් සහෝදරය,
මම ඉවාන්, ගොවියෙකි
බූට් සපත්තුවෙ මඬ තැවරුණු
සටන් කළෙමි මම ඔබ මෙන්
අවසන්ය දැන් මගේ වෙහෙස
ලෙනින් සහෝදරය,
මාබල් සොහොනේ ජීවමාන
ඉඩක් දෙන්න මට….
මම චිකෝ, නීග්‍රෝවෙකි
හිරු තාපයේ දැවෙමින්
උක් දඬු කපන්නෙමි
ඔබ වෙනුවෙන් දිවි ගෙවුවෙමි
දැන් මගෙ කාර්ය අවසන්
ලෙනින් සහෝදරය,
මාබල් සොහොනේ සම්මානිත
ඉඩක් දෙන්න මට….
මම චෑන්, උදුන් කම්කරුවෙකි
ෂැංහයි නගරේ වැඩ වර්ජිත
විප්ලවයේ නාමෙන්
සටන් වදිමි, කුසගිනි ඉවසමි,
මරණය තෝරා ගන්නෙමි!
ලෙනින් සහෝදරය,
මාබල් සොහොනේ සිට
අමතන්නේ ඔබ
සදාකාලිකව….
වැඩකරනා ජනයා වෙනුවෙන්
ලෝකය අපට හිමි තැනයි

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...