යුද්ධයේ අවසන් භාගයේ මියගියවුන් සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ඉදිරක තිබුණු ස්මාරකයක් ඊයේ රාත්‍රියේ බුල්ඩෝසර් යොදා ඉවත්කිරීමත් සමඟ නොසන්සුතාවයක් හටගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම විරෝධතාවයේ නිරතව සිටින සිසුන් සඳහා PCR පරීක්ෂණ සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඒ සඳහා පෙනී සිටීම අනිවාර්ය බව පොලීසිය විරෝධතාකරුවන් වෙත දන්වා තිබේ. අද දහවල් වන විට බලහත්කාරී ලෙස අදාල පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල සිසුන්ගෙන් ලබා ගනිමින් සිටින බව වාර්තා විය.
පසුගිය වසරේදී මෙම කඩා දැමුණු ස්මාරකය ඉදිකර තිබුණේ සිවිල් යුද්ධය අවසන් වීමේ 10 වැනි සංවත්සරය වෙනුවෙනි.
යුධ සැමරුම් ස්මාරක දකුණේ සෑම තැනම ඉදිකර ඇති වග අපි දනිමු. ඊට අමතරව දකුණේ යුද්ධය ජයග්‍රහණයක් ලෙස සළකා මහා ඉහලින් සමරන බවද අපි දැක ඇත්තෙමු.
යුද්ධයක සැමරියයුතු කිසිවක් නැත. නමුත් යුද්ධයකදී සිදුවෙන විනාශයට ගොදුරුවෙන පුද්ගලයන් සිහිකිරීම නැවැත්විය හැක්කේ කුමන තත්ත්වයක් මතද?
මරණය වේදනාකාරී වන්නේ ජිවත්වන්නවුන්ටය. ඔවුන් එම වේදනාව දුරු කරගන්නේ තම සමීපතමය නැවත නැවතත් සිහිකිරීම, ගරු කිරීම වැනි දේවල් හරහායි. එය දකුණට මෙන්ම එය උතුරටත් එලෙසම හිමිවිය යුතුය. මනුෂ්‍යත්වයේ නාමයෙන් අප එම අයිතියට ගරු කළ යුතුය.
යුද්ධය අවසන් වීමේ 10 වැනි සැමරුම වෙනුවෙන් යාපනය විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ වෙබ් අඩවියේ මීට වසර 2කට පෙර සටහන් කර තිබූ සටහනක සිංහල පරිවර්තනය පහත දැක්වේ.
“අඳුරේ යතාර්ථය තේරුම් ගන්නේ නම්, හිරු උදා කර දීමට අහස සුදානම් වනු ඇත!”
අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව.
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව.
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව.
ඔවුන් අපේ දරුවන්ය.
ඔවුන් අපේ සහෝදරයින්ය.
ඔවුන් අපගේ මිතුරන්ය.
ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.
ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.
එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්‍රමාණවත්ය.
ඔවුන් අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පිරිසක් බවට වන සත්‍යය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.
එවිට අපේ ශ්‍රී ලංකාවට හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.