Breaking News

අර්ජුන් ඇලෝසියස්ලා නොගෙවූ බදු ගෙවන ලෙස දුන් අධිකරණ නියෝගයත් නොතකා හැරලා

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවන ලෙස 2023 වසරේ අධිකරණ නියෝගයක් තිබියදීත් එය තවමත් ගෙවා නොමැති බව හෙළිව තිබේ.

මෙම ගෙවීම් පැහැර හරින ලදැයි යන චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා (01)ඊයේ නියෝග කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස් , ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාටය.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් 3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා ඇත.අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව පසුගිය(2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තිබිණි.

මෙම බදු අයවීම සිදුවිය යුත්තේ 2016 සහ 2019 අතර වන අතර කාලයට නිසා දැන් නොගෙවා සිටි කාලය 2019 පටන් ගෙන බැලුවද වසර 05ක් පමණ ගතව තිබේ. එසේ නම් එම මුදල රුපියල් බිලියන 3.5ක් නොව ඊට වඩා වැඩිවිය යුතු බවටද තර්කයක් නැගිය හැක. මන්ද රජයට මේ ආකාරයට ආදායම් අහිමිවීම යනු ණයවලින් ඒවා පියවීමට සිදුවීමයි. එම නිසා ණය පොළියත් එකතු කරමින් මෙම මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

 

leave a reply