ලංකාවේ අලුතින්ම හමු වු සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බව කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට වාර්තා කර තිබේ.
යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් හා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව ඒ බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ යාපනය, චෙම්මනි සුසානයෙන් මේ වන විට සිරුරු හයකට අයත් අස්ථි ගොඩගෙන, තවත් අස්ථි හදුනාගෙන ඇති බැවින් එය සමූහ මිනීවළක් ලෙස නම්කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ගොනු කළ නඩුව ජුනි 06 වැනිදා විභාගයට ගත් අවස්ථාවේය.
අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු නීතිඥ රනිතා ඥානරාඡා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම භුමිය තුළ මිනිස් අස්ථි කොටස් අවුල් සහගත පරිසරයක හෝ කලබලකාරී ආකාරයකින් වළ දමා ඇති බවත් කැනීම් කටයුතු මෙහෙයවන ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ වාර්තාවේ ඇතුලත්ව තිබු බවයි.
සමුහ සුසානයේ විමර්ශන අඛණ්ඩව සිදු කරගෙන යෑමේ අවශ්‍යතාවය කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් විසින් අධිකරණයට පෙන්වා දුන් බව සදහන් කරන නීතිඥ රනිතා ඥානරාඡා අවධාරණය කරන්නේ විශේෂඥයන් සෑහීමකට පත්වන තෙක් කැණීම් කටයුතු දිගටම කරගෙන යන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා නියෝග කළ බවයි.
යාපනයේ චෙම්මනි සිතුපත්ති හින්දු සුසාන භූමියේ සමූහ මිනීවළ මුලින්ම මතුවූයේ 1995 සහ 1996 අතර කාලයේදීය. 2025 පෙබරවාරි මාසයේදී, නල්ලූර් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් චෙම්මනි හි සිදු කරන ලද ගොඩනැගිලි ඉදිකිරීමක් සඳහා කැණීමකදී අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමෙන් පසුව, එම ස්ථානය සමූහ මිනීවළක් විය හැකි බවට සැක මතු විය.
එහි කැණීම් කටයුතු ජුනි 2 දා නැවත ආරම්භ කරන ලදී.
පසුගිය දින සිදු කරන ලද කැණීම් වලදී, තවත් මිනිස් ඇටසැකිලි කිහිපයක් සොයා ගන්නා ලද අතර, මේ දක්වා සොයා ගත් මුළු ඇටසැකිලි සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබේ.
2018 අගෝස්තු 05 වැනිදා ‘අනිද්දා’ පත්‍රයේ මුල්වරට පළවූ රෝහිත භාෂණ අබේවර්ධන ගේ “සමකය” ට සඳහන් වන පරිදි චෙම්මනි සමූහ මිනීවළට අමතරව ඒ වනවිට ලංකාවේ සොය ගෙන ඇති සමූහ මිනීවළවල් කිහිපයක් පහතින් දැක්වේ.
▪️ඇඹිලිපිටියේ සූරියකන්ද සමූහ මිනීවළ (300 අධික යැයි සැළකේ 15ක් සොයා ගැනිණ)
▪️දිවුලපිටිය, වල්පිට සමූහ ගොවිපොළේ සමූහ මිනීවළ (31 දෙනෙක්)
▪️නාච්චිකුඩා සමූහ මිනීවළ (75 දෙනෙක්)
▪️මාතලේ සමූහ මිනීවළ (154 දෙනෙක්)
▪️මන්නාරමේ තිරුකේතීස්වරම් සමූහ මිනීවළ (82 ක්)
▪️මන්නාරමේ සතොස පරිශ්‍රයේ සමූහ මිනීවළ (60 දෙනෙක්)
පසුගිය සමයේ කොළඹ වරාය ආශ්‍රිතව සහ මුලතිව් කොක්කුතුඩුවායිවලින්ද සමූහ මිනීවළවල් හමුවිය.
මෙහි විශේෂත්වය වන්නේ මේ කිසිදු මිනිවලක් කැනීම් කටයුතු අවසන් කර නොතිබීමයි.