2020 දෙසැම්බර් 30 මංජුල වෙඩිවර්ධන කවියාගේ දසවන කාව්‍ය දිග හැරුම “නිමිති” නමින් ඔබ අතට පත් වී තිබේ.මුද්‍රිත කෘතියක් ලෙසත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශ්‍රවණය කළ හැකි හඬ මුසු කළ කවි ලෙසත් මේ නව කෘතිය ඔබට පරිහරණය කළ හැකි. තිස් වසරකට වැඩි දීර්ඝ සාහිත්‍යය ඉතිහාසයකට උරුමකම් කියන මංජුල වෙඩිවර්ධන හුදු සාහිත්‍යකරුවෙකු පමණක්ම නොව සවිඥානික දේශපාලන කියවීමක් සහිත සාහිත්‍යය කරුවෙකි.
මේ “නිමිති” නිමිති කරගෙන ඔහු සමග විවර අප කළ පුංචි කතාබහකි.
ඔබ විවිධ මාධ්‍ය ඔස්සේ සිංහල රසික පර්ෂදය සමඟ සාධනීය ගනුදෙනුවක් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ මාධ්‍ය අතරින් ඔබ විශේෂයෙන් කැමති මාධ්‍යයක් තියෙනවද කියලා ඇහුවොත් අසාධාරණ ද ?
“නිමිති” කියන්නෙ මගේ දසවැනි කාව්‍ය සංග්‍රහය. මම නිල වශයෙන් කවි පළ කරන්න අරන් අවුරුදු 30ක් වෙනවා. මගේ මුල්ම මුද්‍රිත කෘතිය පළවෙලා දැන් අවුරුදු 23ක්. මගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍ය එදත් කවියල අදත් කවිය. මම යෙදෙන හැම සාහිත්‍ය කලා ක්‍රියාවලියකම මම හොයා ගන්න උත්සහා කරන්නෙ කාව්‍යමයත්වය විදිහට මම උපකල්පනය කරන ගුණාත්මයක නිර්මාණාත්මක හැඩතල අඩංගුව පවත්ව ගන්න. එහි ව්‍යුහය එකිනෙකින් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒත් පදනම ශක්තිමත්ව පවත්වා ගන්න මම විශාල ශ්‍රමයක් විය පැහැදම් කරනවා. නිදසුනක් විදිහට මම මෙතෙක් ලියලා තියෙන නවකතා හතර අරගන්න. ඒ හතරෙම නවකතාමයත්වයට අමතරව එහි කාව්‍යමයත්වය පවත්වගන්න මම විශාල අතිරික්ත ශ්‍රමයක් යොදවලා තියෙනවා. මට අවශ්‍ය සහ මට අනන්‍ය සාහිත්‍යමය සිංහලය නිර්මාණය කරගන්න මම අඛන්ඩව උත්සාහ කරලා තියෙනවා. මේ කියන වෙනස් සිංහලයේ පදනම තමයි කවිය.
ඔබේ නූතන කාව්‍ය ව්‍යාපාරය දෙස බලන විට ලංකාව වගේ ම යුරෝපය පිළිබඳ සංවේදී වෙන හැටි දකින්නට ලැබෙනවා . ලංකාවෙ කලා සම්ප්‍රදායන්ගෙන් වගේ ම ඔබ යුරෝපීය සාහිත්‍ය ධාරාවන්ගෙන් ද පෝෂණය ලබනවද ?
භාෂාමය විවිධත්වය හැරුණම නිර්මාණ කුලකයක් විදිහට ගත්හාම ලංකාවේ හෝ වේවාල දකුණු ආසියාතික-ආසියාතික කාලපවල වේවා,මා දැනට ජීවත් වෙන යුරෝපයේ වේවා, සියලු කවි කිවිඳියන් කරන්නෙ කවි ලියන එක. කවියෙක් නම් මූලිකව ඔහු හෝ ඇය කවි ලිවිය යුතුයි. කවි ලිවිය යුතුයි කියලා මා අවධාරණය කරන්නෙ ලියන ඕනි දෙයක් කවියක් නොවන හින්දා. තමන්ගෙ විෂය කවිය නම් ඊට කෙනෙක් තුළ තියෙන කැපවීම, ඒ වෙනුවෙන් දරන ශ්‍රමය තමයි ඔහුව හෝ ඇයව කවියෙක්’ කියන නාමකරණයට ඔසවා තබන්නෙ. කවීන් විදිහට ස්ථාපිත වෙච්ච කවි කිවිඳියන්ගෙ කවි විතරක් නෙමෙයි ඔවුන්ගෙ ජීවිතත් විමසා බලන්න ඔවුන් මොන තරම් ඒ වෙනුවෙන් කැපකිරීම් කරලා තියෙනවද කියලා. මේ සියලු කවීන්ගෙ කවි සහ ජීවින අද්දැකීම් විමසා බැලීම, ලියන්නෙක් විදිහට මට හරි වැදගත්. මම නිදසුන් කර ගත්තෙ කවිය. මේ ප්‍රවාදය ඔබ නඟන ප්‍රශ්නයේ ඇති සියලු සාහිත්‍ය ප්‍රවර්ගයන්ට අදාලයි. මට ආසන්නම දෙමළ කවීන්ගෙ මෙන්ම යුරෝපීය සාහිත්‍ය ධාරාවන් විතරක් නෙමෙයි ලෝකය මෙතෙක් පැවති සියලු කාව්‍ය-සාහිත්‍ය ප්‍රවනතා තුළින් මගේ සාහිත්‍යය පෝෂණය සිද්ධ වීම නිසග දෙයක්. මා එසේ පෝෂණය ලබන බව මගේ නිර්මාණ විමසීමෙන් ග්‍රහණය කරගන්නා අතලොස්සක් බරපතල පාඨක, සහෘද, සහෝදර, මිත්‍ර ප්‍රජාවක් මට සිටිනවා. මේ වැඩේ මෙහෙම කරගෙන යන්න ඒ සුළුතරය හොඳටම ඇති.
කවිය, අවියක් කියලා ඔබ තාම විශ්වාස කරනවද ?
කවිය කියන්නෙම කිසිවකු අධ්‍යාත්මික චලනයකට ලක් කරන්න පුළුවන් මාධ්‍යක්. බරපතල කවියක් කියවද්දි මා තුළ සිද්ධ වෙන චලනය මා හැම විටම හඟිනවා. ඒක දෛනිකව සිද්ධ වෙනවා. එකම කවියක් හෝ අලුතින් නො කියවපු දවස් මා ගත කර ඇද්දැයි මට මතක නැහැ. මා තුළ සිද්ධ වෙන දේ හින්දම මම දන්නවා. කවියකට පුළුවන් කියවන කෙනාව අවුළුවන්න. හික්මවන්න. රිද්දන්න. ඥානනය කරන්න. නමුත් එය සමාජමය අවියක් බවට පත් කරගන්නට නම් එකී නිෂ්චිත කවියේ කාව්‍යමය මොහොතට සමාන්තරව ගලායන සමාජ දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. එහෙම ක්‍රියාවලියක් නැති තැනක පවා කවියට පුළුවන් සාමුහික හෘදය සාක්ෂියක් බවට පත් වෙන්න. එහෙම ක්‍රියාවලීන්ට සක්‍රියව මැදිහත්වුණු ලියන්නෙක් මම. නිදසුනක් විදිහට උතුරේ මනල්කාඩු-කුඩාතනෛ වෙරළෙදි 2010 දෙසැම්බර් 31 වැනිදා ඝාතනය කළ පරිසරවේදී කේතීෂ්වරන් තේවරාජාට අදාල සංසිද්ධිය ගන්න. මරණය අභියස වුව තමන්ගෙ අරමුණ වෙනුවෙන් පෙනී සිටපු ඒ තරුණයා වෙනුවෙන් මා තුළ හට ගැනුණු, ඒ ආදරය, ගෞරවය, සහෝදරත්වය මම කවියක තැබුවා. අවුරුදු 10කට පසුව පවා තේවා ගැන කතා කරන මොහොතක් නිර්මාණය කර ගන්න ඒ කවියට පුළුවන් වෙලා තියෙනවා.
උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට
වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
ගමන පමයි අකුරට වැඩ කලාවේ
වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ
රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද
උවන පොතට එක්කෙරුවා මල් සුවඳ
විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
‘අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා
කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා
සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ
වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
මව්බිමත් සමඟ රමණය කළවුන්ට
මව් වුණත් කයක් පමණෙකි හැමනෙන්ට
පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?
උපුල් ශාන්ත සන්නස්ගල ඒ කවිය යළි සයිබර් අවකාශය තුළ හඬක් බවට පත් කරලා තියෙනවා. දිනූපා කෝදාගොඩ සහ නදීක වැලිගොඩපොල ඒ කවිය ස්වකීය ආත්මීය ප්‍රකාශනයක් විදිහට මුදාහැරීමට තරම් නිර්භීත වෙලා තියෙනවා. තව විශාල පිරිසකගේ ශ්‍රමය ඒ ක්‍රියාවලිය ඇතුළෙ අඩංගු වෙලා තියෙනවා. ජාතිවාදී නරුමයන්ගෙ කොමෙන්ට්ස් කිහිපයක් හැරුණම පොදුවෙ තේවා වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරන තැනකට ඒ කවිය වෙත එළඹුණු අය පත්වෙලා තියෙනවා. අලුත් පරම්පරාවන් තුළ තේවා ජීවමාන කරන්න ඒ කවිය සමත් වෙලා තියෙනවා. එහෙම තමයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ.
ලංකා සමාජය මේ මොහොතේ මුහුණ දෙන බරපතළම සමාජ ආර්ථික ගැටලුව ලෙස ඔබ දකින්නෙ මොකක් ද ?
මම හැමදාම දුටුවෙ ලංකාවෙ සමාජයෙ සියලු ප්‍රශ්න වල කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්නය විදිහට ජාතික ගැටළුව. එය තව දුරටත් එහෙමමයි. අනිකුත් සියලුම ගැටළු තියෙන්නෙ මේ ගැටළුව වටේ. සිංහල-බෞද්ධ-වික්ටෝරියානු මනෝභාවය හරිම විසකුරු එකක්. ඉස්ලාම් භක්තික ශ්‍රී ලංකික ප්‍රජාව වෙත අලුත් වටයකින් ඇරඹිලා තියෙන සංවිධානාත්මක සමාජ පීඩනය ඉහත කී ජාතික ගැටළුවේම දිගුවක් ලෙසයි මා දකින්නෙ. කාට හෝ තියෙනව නම් ආර්ථික වශයෙන් සමෘධිමත්වුණු දේශයක් පිළිබඳ සිහිනයක්, මෙම මූලික ගැටළුවට විසඳුමක් සොයා ගැනීම හරහා ඒ සිහිනය වෙත ළඟා විය යුතුයි. ඒක අනිවාර්යයි, දූෂණ වංචා තොරොම්බල් කිරීම විතරක් ඒකායන දේශපාලන දෘෂ්ටිවාදය කරගත්තු සෑම ජන බල වේගයක්ම කරන්නෙ කේන්ද්‍රීය ප්‍රශ්නය මඟහැර යන එක. ඒ අර්ථයෙන් ගත්තම සිංහල-බෞද්ධ-වික්ටෝරියානු සුචරිතවාදී නරාවළ තුළ ගිලුණු ඔය කිසිඳු දේශපාලන පක්ෂයකට බැහැ මේ රට ගොඩදාන්න. අත මාක්ස්ගෙ වගේ පෙනුණට, කට ඇරිය ගමන් ඇහෙන්නෙ රාජපක්ෂපාතී හඬ.
ඔබේ යුරෝපාගමනය අවස්ථාවාදී බවේ ලක්ෂණයක් ලෙස උලුප්පමින් ඔබව විවේචනය කරන්න ලංකාවේ ඇතැම් විවේචකයින් කටයුතු කරමින් සිටිනවා මේ විවේචනය ගැන ඔබට ඍජුව පවසන්න දෙයක් තියෙනවද ?
මාව එහෙම විවේචනය කරනවා මම අහලා හෝ දැකලා නෑ. මං දන්නෑ , යුරෝපයේ විශාල කාලයක් ජීවත් වෙන ඔබ වගේ කෙනෙක්, ඇයි මෙහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්නෙ කියලා.
නමුත් ඔබ මේ ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ වෙන කවුරු හෝ කියන දෙයක් විදිහට හින්දා මා එයට කෙටි පිළිතුරක් දෙන්නම්. මෙහෙම ප්‍රශ්නයක් නැඟීමේ පසුබිමේ තියෙන මනෝභාවය දේශපාලනිකව තේරුම්ගන්නවා නම්, මේ වගෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අය ප්‍රභේද දෙකක් ගැන මට උපකල්පනය කරන්න පුළුවන්. එක්කො මෙහෙම අහන පුද්ගලයා, මේ රාජපක්ෂ රෙජීමය බලයට ගෙනල්ලා , චන්ද්‍රිකා යුගයේ ඉඳන් වලිකාපු, ඉක්බිති අරලියගහ මන්දිරයෙ වළං හෝදපුල දෙමළාව සමූලඝාතනය කරන්න දකුණේ දෘෂ්ටිවාදය හදන්න දිවිහිමියෙන් කටයුතු කරපුල දෙමළ මිනිස්සු කොළඹ ඇවිත් ඉන්න ලොජ් වල පවා ඔත්තු බලපු, ඒත් මේ වෙනකොට, එවන් ක්‍රියාවලීන් වලින් පවා බහිශ්කරණයවෙලා, හුදු ඕපදූපකාරයෙක් බවට පත්වෙච්ච බෙලහීන වාමංශිකයෙක් වෙන්න ඕනි. එහෙම නැත්තම් යුරෝපය කියන්නෙ පරම සැපක්, යුරෝපය කියන්නෙ මැජික් බිමක් කියලා හිතලා එහෙම රටකට සංක්‍රමණය වෙන්න වලි කාලා වලි කාලා එහෙම බැරි වෙච්ච, හීනමානයෙන් පෙලෙන දේශප්‍රේමියෙක් වෙන්න ඕනි. ඔන්න ඕක තමයි සෘජුවම කියන්න තියෙන්නෙ. අපට මෙහෙම කියන අය කවුද කියල ඔබ දන්නවා නම් ඔබ තනියම මෙහොතක් හිතලා බලන්න ඒ කියන කෙනා මේ දෙකොට්ඨය අතර ඉන්න කෙනෙක්ද නැද්ද කියලා.
නිමිති වලදි ඔබ කෙටි කවියක් වෙත ගමන් කර තිබෙනවා. මේ ඔබේ කවියේ හැරවුම් ලක්ෂයක්ද ?
කෙටි කවිය කියන කාව්‍ය විධික්‍රමය, මම ලියන්න ගත්ත පළමු අවදියෙ සිටම භාවිතයට ගැනුණු දෙයක්. මගේ පළමු පොත වෙච්ච ෂේන් මැකෙල්වියි මමයි එක්ව 1997දි පළකරපු “නිරුත්තර සමාධිය” කෘතියෙත් මා ලියූ කෙටි කවියක් තියෙනවා තවමත් විටින් විට සමාජයම සංසිද්ධීන් වලදි මතක් වන සහ කවුරුන් විසින් හෝ සටන් පාඨයක්’ විදිහට භාවිතයට ගැනෙන.
“පල් හොරුනි මල් නොවන මගේ කවි
ගල්වගේ දමා ගසනෙමි තොපට
පල් වෙච්ච මඩ වලක් කෙරුවාට
මල් සුවඳ ගලා ගිය මගේ රට”
මේක මම ලිව්වෙ අනූව දශකයෙ මුල. මගේ දෙවැනි කවි පොත වෙච්ච 2002 පළ “පිළිහුඩුවී” පොතේ පවා කෙටි කවි තිබුණා. තුන්වැනි පොත වෙච්ච 2007 පළකරපු “මධුසඳනි මධුවිත” සමස්ථ පොතම කෙටි කවියට බර තියපු පොතක්. මේ මුල් පොත් කියවා නැති සහෘද ප්‍රජාව කෙටි කවියත් එක්ක තියෙන මගේ සම්බන්දය ගැන දන්නෙ නෑ. මේ ඉතිහාසය “නිමිති” පොතේ පූර්විකාව තුළ ලියලා තියෙනවා. මේක මගේ හැරවුම් ලක්ෂයක් නෙමෙයි කියලා දැන් ඔබට පැහැදිලි ඇති. පසුගිය 10 වසරක් පමණ කාලය තුළ විටින් විට විවිධ හේතු නිසා මම ලියපු කෙටි කවි රාශියකින් යම් ප්‍රමාණයක් මම මේ පොතට ඇතුළත් කළා. “සන්තාන ගීතිකා” පොත ළඟ තියන් ඉන්න ආදරණීය කියවන්නන්ට, කියවන්නියන්ට යළි එය අතට අරන් කියවගන්න, උණුසුම් කෝපි කෝප්පයක් ළං කරන්න මට හිතුණා, ඒ තමයි “නිමිති”
කොක්ටේල්මය අඳුරක
හිනැහෙමු
කොක්ටේල්මය සිතිවිලි
කළතමු
කොක්ටේල්මය බඳුනක
කිමිදෙමු.
නටරාජ්
පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන
බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර
කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල
නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ
දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද
අසමබර කඳුළු මත විසිර යනු මඳහාස
තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව
ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ
අපස්මරු මහදවත මහ පොළොව වෙලා ගෙන
පයත් මට සැනසුමකි වේදනා මුදාළන
රුපුන් මැද ස්නේහයේ මධු බඳුන් පුරාලන
විසංවාදය මම ය ඔබ තුළින් ගලා එන
ආනන්ද තාන්දව දකින නෙත් නැති රෑක
මා මෙන්ම කඳුළකට කවුරු නෙත් ඇරියාද
යාවෙන්න හැකි නෙතක් තිබිණිනම් ළඟපාත
මා ගන්න මඟ විවර කළ දෙවිඳු ඔබ නේද
තර්ක අසිපත් වලින් කැපෙන සඳ ගත නහර
අග්නි වමතින් කෙසේ සැරසුවෙද ඔබ මහද
නග්න හිත වෙලෙන විට එරන්වන් දිය දහර
රශ්මි පමණෙකි ඉසිඹු නැඟෙන සිහිනෙක පහස
දමරු හස්තය ගෙනෙන හඬ පරම සුමියුරු ය
අඳුරු කවකට සුවය ඔබය ඔබ දිනිසුරුය
සොඳුරු බව සොඳුර මුවගින් දෙඩුව සුරගුරුය
රුදුරු මිනිසකු වුවත් මගෙ පෙමද පිවිතුරුය
මුහුලසින් සුරලියන් මිහිමතට කැඳවාන
රැගෙන ආ නටරාජ අමතකද ඇගෙ මූණ
විශ්වයේ මැද රැඳෙමි ශිඛර මත කෛලාස
තනි පයෙන් පේ‍්‍රමයේ සියලු බර උසුලාන
(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි 2011)
නිදිකුම්බා මල
කුරුලු දරුවන් ඉකිලන
අරුණු දොරනඩ ඉඳගෙන
අහස් ඉදිකඩ පැනගෙන
හිරුන් එන මඟ බලනෙමි!
විදුලි මළබෙර හඬවන
කළු වලා අවි අරගෙන
ඉදිකඩ යකුන් සේ ඇති කල
හිනාවී එන්ට බැරිවද හිරුනි.
පැතුම් මල් පොඩි මැළවෙන
සෝකී දෙනෙත්හරවමි
ඩෝසර හොඬෙන් ඉදිරුණ
රබර යායම විනිවිද……..සීරුවට………..
සිය දහක් හිරු අනුරූ
හිනාවේ වියලි කර්කශ බිම
අහා! කෙතරම් සතුටක්ද හිතට
මම එවෙත ඇවිද යමි……….
නිරුවත් දෙපා මත
වේදනා කටු තුඩු ඇනී – රිදුම් දේ……
මම ඒ වේදනා පොදි
හද සම බිමේ සතපා
කටු තුඩු මතම දණ ගා
ඉන් මලක්
අපරිමිත ආදරෙන් සිඹිමි.
සිතගිස්සෙන්ම නැඟැ ආ
නෙතිස්මත්තෙන් මේ දැන් වට
සීතල කඳුළු බිඳ
එමල් සුසිහින් කෙඳි මත රැඳී
ප්‍රභාවින්තව බැබැළේ.
මම
සෙමින්
හිසොසවා
බලමි.
කළු වලා අවි මැඬගෙන
අහස් ඉදිකඩ පැනගෙන
අන්න! හිරු
හිනාවීගෙන……
(පිළිහුඩුවී කවි එකතුවෙන්)
ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?
පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.
හොර නිධන් හාරන්නකු මෙන්
හිත් පතුළ පාරා මතුකරගත්
අවසාන හැඟුමත්
හැඟුම්බරවුණු මොහොතක
වියරණ දෝස.
ඇයටත් හිතෙන දේවල්.
“බෝල අතකුරු වුණත්
කැලැත්තෙන විට අවකාශයේ
ඇද වෙන්න පුළුවනි.”
“පේ‍්‍රම කවියක් වුණත්
රිදුම්දෙන විට සන්තානයේ
ඇති වෙන්න පුළුවනි.”
“මිරිඟුව” නො පවතින දෙයක් නම්
ඒ වචනය මොකටදැ?” යි
ඇගේ ලියමන අවසානයේ
ඇය ප‍්‍රශ්න කර තිබුණා.
මා ඇගෙන් නොව
ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
‘ආදරය’ ගැන
ඔබ හිතන්නේ කොහොමද?