Breaking News

සිරකරුවෙකු නිදහස් කිරීම ගැන ආණ්ඩුවෙන් පරස්පර ප්‍රකාශ

දැනට ආන්දෝලනයකට ලක්ව තිබෙන මූල්‍ය වංචාවකට ලක්වූ පුද්ගලයෙකුය ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධ ජනාධිපති ලේකම් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබේ. නමුත් ඊට පෙර රජයේම දෙපාර්තමේන්තුවක් වන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ වෙනත් කතාවකි.

එහි සඳහන් වන්නේ 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවුණු බවයි. එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව සිටි නැති බවයි.

මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබෙන බව එහි සඳහන් වේ.

නමුත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බව ය.

රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබුණි.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව පෙරේදා (ජූනි 05) යළි කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.

අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව ය.

leave a reply