Breaking News

අලි මිනිස් ගැටුම – වැඩිම අලිමරණ ලංකාවෙන්, දෙවැනියට වැඩිම මිනිස් මරණත් ලංකාවෙන්

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය.

එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් පුද්ගලයෙකු බව පැවසෙන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින් මේ බව අනාවරණය කර තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ අනාවරණය කර ඇත.

එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

අලි මිනිස් ගැටුම පාලනය සදහා සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හදුනාගෙන තිබූ අලිවැට 2016 වසර වන විට කි.මී.4211ක් ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ආණ්ඩුව රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 අහෝසි කිරීමට මේ මොහොතේ කටයුතු කිරීම හරහා අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වීමට නියමිතව ඇත. 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ ආණ්ඩුවේ අරමුණ වන්නේ මෙමෙ ඉඩම් වාණිජ භෝග වගාවන් හා වෙනත් ආයෝජන සදහා බහුජාතික සමාගම්වලට හා පෞද්ගලික අයිතියට ලබාදීමයි. පරිසරවේදීන් සඳහන් කරන ආකාරයට දැනට අවශේෂ වනාන්තර බහුතරයක් පිහිටා ඇත්තේ අනුරාධපුර, මොණරාගල ආදි වියළි කලාපීය දිස්ත්‍රික්කවලය. එයිනුත් වැඩි ඉඩම් ප්‍රමාණයක් අලිමංකඩවල් ලෙස හා වියළි කලාපීය වාරි පද්ධතියේ ජල පෝෂක කලාප ලෙස ක්‍රියාත්මක වේ. මෙම භූමිවල කැළෑ එළිපෙහෙළි කරමින් වගාවන් සඳහා බහු ජාතික සමාගම්වලට ලබාදීම යනු අලින්ට ජීවත්වීමට සුදසු ප්‍රදේශ තව තවත් අහිමි වී යාමයි. මේ හේතුව නිසා අලි මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම හැර වෙනත් දෙයක් සිදු නොවනු ඇත.

leave a reply