මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සඳහා ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය සහ කොවිඩ් පැතිරීම පිළිබඳ බිය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් රැගෙන ආ බව සහ එලෙස පිටතින් පැමිණෙන රැඳවියන්ට PCR පරීක්ෂණ සිදුකර නොමැති බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශ හරහා පැහැදලි වේ.
රිමාන්ඩ් රැඳවියන් විසින් මානව හිමිකම් කොමිසම වෙත සිය අදහස් ඉදිරිපත් කිරීම පිණිස 12 දෙනෙකු තෝරාගෙන තිබේ.
“ඒගොල්ල හැමෝම එක හඬින් කීවේ, අපිව මෙහාට ගෙනාපු එක වැරදියි, අනික අපට ඇප දෙන්නේ නැති එක වැරදියි කියල.”
ගැටුමට හේතු මොනවාද?
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම පවසන පරිදි,
අධික තදබදය
කෝවිඩ් රෝගය පැතිර යාම ගැන පැවති බිය සහ
එයට එරෙහිව පැවති උද්ඝෝෂණය
රැඳවියන් 11 දෙනෙකුවත් මරා දමමින් මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමට හේතු වූ ප්‍රධාන කරුණු බව ඒ සම්බන්ධයෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ මූලික නිගමනය වී තිබේ.
ගැටුම් වැළැක්වීම පිණිස නිර්දේශ
නොවැම්බර් 29 දින හටගත් ගැටුම පිළිබඳව නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මානව හිමිකම් කොමිසම එහි ගොස් කරන ලද විමසීම්වලින් අනතුරුව මූලික වාර්තාවක් නිකුත් කර තිබේ.
- මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට වහාම පියවර ගත යුතු බව එම වාර්තාවේ දැක්වෙන එක් ප්‍රධාන නිර්දේශයකි.
- සිරකරුවන්ගේ සෞඛ්‍යය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බන්ධනාගාරවලට නව පිරිස් ඇතුළත් කිරීමේදී සියලු දෙනා පීසීආර් පරීක්ෂාවකට ලක් කිරීම
- සිරකරුවන් අතර ඇති බිය අවම කිරීම සඳහා වෛරසය ආසාදනය වූ සියලු සිරකරුවන්ට වෙනම ප්‍රතිකාර හා පහසුකම් සැලසීම ආදිය
- මිය ගිය, තුවාල ලැබූ, රෝහල්ගත කළ සියලු සිරකරුවන් පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නිවැරදි තොරතුරු ලබා දීම
- සිරකරුවන්ගේ ආහාර, ජලය, විදුලි, ඖෂධ ඇතුලු සුබසාධනයන් අඛණ්ඩව ලබා ගැනීමට පහසුකම් සැලසීම
මානව හිමිකම් කොමිසමේ අනෙක් නිර්දේශ අතර වේ.
“අනිත් සේරම පැත්තකට දැම්මත්, දැරිය නොහැකි මට්ටමේ සංඛ්‍යාවක් රඳවා තැබීම (overcrowding) ලොකුම ප්‍රශ්නයක්. මම කොයි තරම් ඔය වගේ තැන්වලට ගිහින් තියෙනවද ඒත් මෙච්චර තදබදයක් කොහෙවත් දැකල නෑ,” රමණී මුත්තෙට්ටුවේගම කියා සිටියාය.
“මහර රිමාන්ඩ් එකේ සිරකරු ධාරිතාව (capacitiy) 1000 යි, හැබැයි එතැන 2500 ක් ඉන්නවා. අනික මේ කෝවිඩ් කාලේ.”
කොමසාරිස්වරිය පවසන්නේ, මානව හිමිකම් කොමිසම සහ ක්‍රියාධරයන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා කෝවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාසය අවසන් වනවිට බන්ධනාගාර ජනගහනය 30% කින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ නමුත්, සැප්තැම්බර් මාසය වනවිට යළිත් එම තීන්දුව වෙනස් කළ බවය.
“බන්ධනාගාර බලධාරීන් කෙලින්ම කිවුව – ‘ඉන්න අයට PCR කරන්නෙත් නෑ, ඇතුළට එන අයට පීසීආර් කළෙත් නෑ’ – කියලා.”
“මේකත් හරිම වැදගත්. බන්ධනගාර අධිකාරීවරයා සඳහන් කළා – ‘වැලිකඩින් රැඳවියන් 120 ක් අරගෙන එන්න එපා’ – කියල දනුම්දුන් බව.”
‘සිරුරු පුළුස්සන්න එපා’
ගැටුම අවස්ථාවේ සිදු වූ බව පැවසෙන තවත් බරපතල කරුණක් පිළිබඳව කොමසාරිස්වරිය අවධානය පළ කරන්නීය.
“සමහර රැඳවියන් සඳහන් කළා සමහර ටවර්වල (මුර කුළුණුවල) ඉඳල වෙඩි තිබ්බා කියල. අපි තාම දන්නේ නෑ ඒක ඇත්තද? කියල ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලාගෙන ඉන්නේ,” රමණී මුත්තෙට්ටුවේගම සඳහන් කළාය.
“එහෙම කළා නම් ජීව උණ්ඩවලින් මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි. ඒක අවම බලය නෙමෙයි.”
එබැවින් කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු මරා දැමුණු රැඳවියන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් මානව හිමිකම් කොමිසම ලිපියකින් බලධාරීන්ට දැනුම් දී තිබේ.
“මොකද? ඒ මළ සිරුරු 11 තමා සාක්කියට තියෙන්නේ.”
එම සිරුරු පුළුස්සා දැමීමේ සූදානමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉදිරිපත් කළ මෝසමක් විමසා බැලීමට අධිකරණය තීන්දු කර ඇතැයි ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කොවිඩ් පැතිරීම වළක්වන ලෙස ඉල්ලුවත් කිසිම පියවරක් ගෙන නැහැ
බන්ධනාගාර තුළ කෝවිඩ් 19 රෝගය පැතිරයාම වැළැක්වීම පිණිස පියවර ගන්නා මෙන් මාර්තු 16 වෙනිදා සිට තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත්, රජයෙන් එයට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතිබව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ’ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට .
බන්ධනාගාරයේ හෝ රජයේ වෙනත් ආයතනයක අත්අඩංගුවේ පසුවන ඕනෑම පුද්ගලයකුගේ ආරක්ෂාව සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් කමිටුව අවධාරණය කරයි.
මේ අතර ‘සමබිම’ පුවත්පතට ලිපියක් සපයමින් මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසන්නේ, දෙවැනි කෝවිඩ් රැල්ල පැතිරීම පාලනය කිරීමට නොහැකිවීම වටහාගත හැකි වුවත්, “රජයේ සම්පූර්ණ පාලනය යටතේ පවතින බන්ධනාගාර ආශ්‍රිතව කෝවිඩ් පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීමත් සිය සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා සිටි රැඳවියන් ඝාතනය කිරීමක් දක්වා වන තැනකට එය තල්ලු වීමත් සම්බන්ධයෙන් රජයට සහ බන්ධනාගාර බලධාරීන්ට සරල පිළිතුරක් නැති බව අවධාරණය කළ යුතුය,” යනුවෙනි.
වින්දිතයාට වරද පැටවීම
මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි.
“ඉතිහාසයේ සිට මේ දක්වාම මේ රටේ වෙලා තිබෙන දේ තමයි වින්දිතයාම සමාජය ඉදිරියේ තවදුරටත් වරදකරු වීම. අපරාධයකට ලක් වෙලා ඒ ගැන පැමිණිලි කරන්න පොලිස් ස්ථානයකට ගිය අවස්ථාවේ සිට අධිකරණය දක්වාම පීඩාවට පත්වෙන එකම පුද්ගලයා තමයි වින්දිතයා.”
ඇය ඒ බව කියා සිටියේ මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අනුමත කරමින් රැඳවියන් සහ ඔවුන්ගේ ඥාතීන් දෝෂදර්ශනයට ලක් කර පළ වන අදහස් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.
නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙඩි තබා මරා දැමීම සාධාරණීකරණය කරමින් මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වේ.
ආණ්ඩුවට පක්ෂ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සම්පූර්ණ වශයෙන් සිරකරුවන් මත වරද පැටවෙන අයුරින් ඉහත කී සිදුවීම වාර්තා කරන බවට ද චෝදනා එල්ල වේ. සිරකරුවන් එකිනෙකාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් බදාදා (දෙසැම්බර් 02) මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.
ඉහත කී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ, නීතියෙන් පරිබාහිරව අපරාධකරුවන් මරා දැමීම හෝ ඔවුන්ට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම, “ම්ලේච්ඡ සමාජයක ලක්ෂණයක්” බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි කලහකාරී තත්ත්වය හටගත් අවස්ථාවේ මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 2,782 කි.
ඉන් 582 දෙනෙකු දඬුවම් ලද සිරකරුවන්ය (අච්චු කළ). සෙසු 2,197 දෙනා විවිධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන්ය.
තොරතුරු උපුටා ගැනීම – BBC සිංහල