Breaking News

කොරෝනා මර්දනයට හරි වැඩපිළිවෙලක් නැති ආකාරය මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් හෙළිකරයි

කොරෝනා මර්දන ක්‍රියාවලිය අරාජික ස්වභාවයකින් ක්‍රියාත්මක වෙන බව ඉතා පැහැදිලිව දක්නට ඇති තත්ත්වයකි. මේ මොහොත වනවිටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය පුරප්පාඩුව පවතියි. කොරෝනා මර්දන ක්‍රියාවලියේ ප්‍රධානත්වය ලබා දී ඇත්තේ හමුදාවටයි. රෝගීන් දිනෙන් දින වැඩිවෙමින් තිබියදී රෝග තත්ත්වය පාලනය කිරි නිසි වැඩපිළිවෙලක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන පහත කරුණුවලින් අනාවරණය වේ.

ඊයේ දිනයේ පෑලියගොඩ මාළු වෙළඳ සැලේ සිදුකළ PCR පරීක්ෂණ 105න් ආසාදිතයින් 49ක් හමුවීම බරපතල තත්ත්වයක් බව සභාපති උපුල් රෝහණ පවසා තිබේ. ඔහු පවසන්නේ මේ අනුව PCR පරීක්ෂණ වැඩිපුර සිදුකළේ නම් තවත් රෝගීන් හමුවිය හැකිව තිබූ බවයි.

“ඒ නිසා ඇත්තටම අහඹු ලෙස ලබාගන්නා සාම්පල් සංඛ්‍යාව ඉහළ දැමිය යුතු වෙනවා තවදුරටත්. නමුත් ගැටළුවක් පවතිනවා මේ වෙද්දි පීසීආර් පරීක්ෂණ වාර්තා විශාල තොගයක් ලැබීමට නියමිතයි. තවදුරටත් ලැබෙමින් පවතිනවා. ඒ එක්කම පීසීආර් පරීක්ෂණ ඉහළ දමලා ලොකු තොගයක වාර්තා පෙන්ඩිං තියාගන්නවා කියන එකත් ප්‍රශ්නයක්. ඒවගේම පීසීආර් පරීක්ෂණ අහඹු ලෙස කිරීම ඉහළ දමාගැනීමේදී අපට ප්‍රායෝගික ගැටළු රාශියක් පහුගිය කාලෙ පැවතුණා, ඒවාට තවමත් විසඳුම් හම්බුවෙනවා කියලා පේන්න නෑ. විශෙෂයෙන්ම යම් යම් වෘත්තීය කණ්ඩායම් අතර තියෙන ගැටුම්, ඒවගේම පීසීආර් සාම්පල් ලබාගැනීමේ බිමේ තියෙන සම්පත් ප්‍රශ්නය, විශේෂයෙන්ම පුහුණු නිලධාරීන් නොමැතිවීම වැනි ගැටළු රාශියක් තවදුරටත් පවතිනවා. ”

එසේම කොරෝනා වැළක්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති අංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම ගැනද සභපතිවරයා සඳහන් කර ඇත.

“බොහෝ පරස්පරතා මේ වෙද්දි පැන නඟිමින් තියෙනවා. විශෙෂයෙන් මේ ක්‍රියාවලිය ආරම්භයේදී වසංගත රෝග විද්‍යා අංශය සහ බිම්මට්ටමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර තිබිච්ච සන්නිවේදන ක්‍රියාවලිය යම් යම් ස්ථනවලින් මේ වෙද්දි බිඳවැටෙමින් යනවා. අපට අවම වශයෙන් බොහෝ අවස්ථාවලදි නිරෝධායන කඳවුරුවලින් නිවෙස් කරා නිදහස් කරන ආසාදිතයෝ එහෙම නැත්නම් නිරෝධායනය කරන අයගේ තොරතුරු පවා මේ වෙද්දි නිවැරදිව ලැබෙන්නෙ නෑ. ඒවගේම අපට බිම්මට්ටමට ලැබෙන උපදෙස් මහජන සෞඛ්‍ය සේවයේ පරස්පරව උපදෙස් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගික නොවූ උපදෙස් ලැබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවකට පත්වෙනවා මේ සම්බන්ධීකරණ කටයුත්තේ දුර්වලතාවය නිසා. “

leave a reply