Breaking News

උත්තරය දුක හිතෙනසුළුයි ! “කවි පොතක මිළ කීයද ?”

හිල්මි සුපුන් 

නුවන්  අබේගුණවර්ධන නොහොත් “දඩබ්බරයා” මුහුණු පොතේ කවි ලියද්දි ඔහු යොදාගත් අන්වර්ථ නාමය.  මේ සතියේ විවර කලා අවකාශයට අපි කැඳවාගෙන එන්නේ “එතැන මා තනිව නිදන තැන” කාව්‍ය සංග්‍රහයේ අයිතිකරු “දඩබ්බරව”.

නුවන්  අබේගුණවර්ධන  කියන සැබෑ නම සඟවාගෙන අනුවර්ථ නාමයකින් පෙනී සිටින්න උත්සාහ කළේ ලියන කවිය  හොඳ කවියක් නොවෙයි කියලා තිබුණු අවිශ්වාසය නිසාද ?  අපි කතාව ආරම්භ කරමු

ප්‍රශ්ණයට ප්‍රශ්ණයකින් පිළිතුරු සැපයීම හොඳ නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒත් මම නමින්ම “දඩබ්බරයා” නේ, ඒ නිසාම මම ඔබෙන් පෙරලා ප්‍රශ්ණ කරනවා.ලක්ෂ ගනනක් ෆේස්බුක් කවියන් ඉන්න අවකාෂයක ඔබේ “විවර” කලා පිටුවට මා සමග පිළිසඳරක් තෝරා ගන්නවා ඔබම. එහෙනම් ඔබට මා යම් විශේෂ තෝරාගැනීමක් !

මම මගේ නිර්මාණ තුල ගුණාත්මක නොවුනු කවියෙක්නම්, ඇයි ඔබේ තෝරා ගැනීම යටතේ මම හිටියේ ?

“එතැන මා තනිව නිදන තැන” ෆේස්බුක් අවකාශයේ  ලැබුණු ප්‍රතිචාර සමඟ සසඳන විට පොතට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඒක මමවත් නොහිතපු තරමේ ප්‍රතිචාරයක්.

තනිවුනු වෙලාවක කවියක් දෙකක් හිස් සයිබර් අවකාශයක අතෑරලා දාලා හිත නිදහස් කරගැනීම ඇරෙන්න පොතක් ගැන කිසිම අදහසක් මගේ හිතේ කොහේවත් තිබුනේ නෑ. මුලින්ම ඔය අදහස මගේ ඔලුවට ඔබන්නේ රවී ප්‍රභාත් අයියා. එයාගේ තිබුනු දැඩි උනන්දු කිරීම නිසාමයි මේ කවිපොත එලිදකින්නේ.

කවි පොත එලිදකින්නේ 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. ඇත්තටම මගේ මුල් කවි පොතට සාම්ප්‍රදායික බුක් ලොන්ච් එකක්වත් නෑ ! නමුත් ඒක මාත් පුදුමයට පත් කරමින්ම පොත් ප්‍රදර්ශනයේ මුල් දවස් අට ඇතුලත පළම මුද්‍රණයෙන් සියයට අසූවක් පමන විකිනී අවසන් වෙනවා. ඉතිරි සතියක හෝ සති එක හමාරක කාලය තුල ප්‍රකාශකයා සතු සියලු පොත් විකීනී අවසන් වෙනවා.

පොත් ප්‍රදර්ශණයේ දවස් දහයෙන් දවස් හතක්ම දවස පුරා මම එතන හිටියා. මම වින්ඳා එතනදී මට ලැබෙන ප්‍රතිචාර. මගේ පාඨකයා විවිධ තරාතිරම් වල අති විශාල පරාසයක අය. එතන හිටියා විශ්වවිද්‍යාල සිසුන්, විවිධ වෘතීකයන්, විවිධ ආගමික හිමිනමවල්, පූජකවරුන්, පාසල් සිසුන්. විවිධ වයස් තරාතිරම්.

දන්නවද ? මම ඒ සම්බන්ධව පුදුම තරම් තෘප්තිමත්.

ෆේස්බුක් අවකාශය තුළදී ලැබෙන ප්‍රතිචාරත සහ  මුද්‍රිත පොතක් එළි  දැක්වීමෙන් පසුව ලැබෙන ප්‍රතිචාරයි අතර වෙනසක් ඔබ අත්විඳනවද?   එසේ නම් එය ධනාත්මක  සෘණාත්මක  වෙන්නේ කොතැනටද? කොහොමද? අව්‍යාජ ප්‍රතිචාර ලැබෙන්නේ කොනදී ද?

ඒක ඇත්තටම මෙහෙමයි, මට ඔය අවස්ථා දෙකේදීම විවිධ ප්‍රතිචාර ලැබුනා. හොඳ වගේම නරකත්. නමුත් මම හිතනවා මුහුණුපොත තුල ප්‍රතිචාර වඩාත් අව්‍යාජයි. මොකද එතනදී ඕනම කෙනෙක් නිදහස්. ඔවුන් ට පුළුවන් මට බැනවදින්න උනත්.

අනිත් වැදගත් දේ තමයි නිර්මාණයක් මුදාහල සැනින් එයට ඉක්මන් ප්‍රතිචාර ලැබෙනවා මුහුණපොත තුල. අපි නිර්මාණයක් කරලා අන්ත්පැත්තට බලාපොරොත්තු වෙන එකම එක සතුට තමයි ඒ වෙනුවෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර. සාපේක්ෂව මුද්‍රිත මාධ්‍යයේදී ඒක ටිකක් පමාවෙනවා.

මේ ප්‍රතිචාර අතරේ බොහෝ ඒවා ධනාත්මක. ඍණාත්මකත් නැතුවාම නොවේ. නමුත් ඒ හැම ප්‍රතිචාරයක්ම මට ඉතාමත් වැදගත්. මම ඒ හැම එකක්ම මට ලැබෙන වටිනාකමක් ලෙස තබාගන්නවා. ඒවා තමයි මා නිවැරදි කරන මගේ කැඩපත්.

වර්තමාන කවිය ස්ථානගත වී තිබෙන තැන පිළිබඳව තිබෙන අදහස.

මම හිතන්නේ වර්තමාන කවියන් වාසනාවන්තයි. මොකද ඔවුන්ට නිර්මාණයක් මුදාහල හැකි මාධ්‍ය බහුලයි. එතනදී බෙහෝ නිර්මාණ බිහිවෙන්න පටන් අරන් තියනවා බහුලවශයෙන්.

මම හිතන්නේ හොඳ කවියක් කියන්නේ බොහෝ අභ්‍යාසයන්ගෙන් පසුව බිහිවෙන අග්‍රඵලයක්. මහත් අභ්‍යාසයන් / අත්හදාබැලීම් / අතපතගෑම් වලට පස්සේ හොඳ කවි උපදින්න පටන් ගන්නවා.

ප්‍රශ්නය වරථමාණ කවිය !
යථාර්ථය කියන්නේ ඔය වචන දකිනකොටම පලමුවෙන්ම වෙන්නේ ප්‍රවීණයන් කියාගන්නා සමහරෙක් එය හෙලා දකින්න ගන්නවා. හැබැයි නැවතත් කිව යුතුයි හැමෝම නොවේ, සමහරක් !

“මේවා කවිද ?”

ඔය තමයි ඔවුන්ගේ මූලික ප්‍රශ්නය.

හැබැයි මෙහෙම හිතන්න, ඔබ ඉපදුන සැනින් ඇවිද ගියාද ? නෑ නේද ? බඩගෑම්, දනගෑම්, ඇදවැටීම් දහසකට පස්සේ ඔබ නැගී සිටිනවා. ඔවු ඔන්න ඔබ හෙමින් ඇවිදින්න පටන් ගන්නවා. වැටෙනවා. නැගිටිනවා. දවසක ඔබ දුවනවා !

මමත් අදටත් එහෙමයි. මම කවිය යන විශය තවමත් අතපතගාමින් එය සොයා යනවා.

ඉතින් එහෙම බැලුවම මම හිතන්නේ වර්ථමාන කවිය යනු අනාගතය සඳහා කරන ධණාත්මක ආයෝජනයක්. මොකද අද යම් ප්‍රවීණ කවියෙක් බිහිවෙලා තියෙනවානම් ඒ ඔහු / ඇය අතීතයේ කල අත්හදා බැලීම් වලට පින්සිදුවන්නට වෙන්නට ඕන.

අවසාන වශයෙන් අවරගනයේ නිර්මාණ කාලයත් එක්කම වැලලී යනවා. හොඳ නිර්මාණ පැළවෙනවා. අපි කල යුත්තේ ඒ මතින් යමක් ඉගෙනගැනීම පමනයි. නැතුව ඒ දෙස ද්වේශයෙන් යුතුව බැණඅඬගැසීම නොවේ.

ෆේස්බුක් අවකාශයේ  හැමෝම කවි ලියනවා,  සමහරු එය විවේචනය කරනවා, ඔබ මේ අවකාශයෙන් එළියට ආපු කෙනෙක්, මේ පිළිබඳව ඔබගේ අත්දැකීම කොහොමද විස්තර කරන්නේ .

මම මීට ඉහතින් ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් බොහෝතැන් මේ ප්‍රශ්නයටත් අදාලයි.

ඇත්තටම මගේ වැඩ බිම උනේ මේ මූණු පොත. මගේ හැදෑරීම් බොහොමයකම අත්පොත මේ මූනු පොත.

ඒකෙන් මා කොහොමටවත් අදහස් කරන්නෑ එය මෙය මතම පමනක් සීමා විය යුතුයි කියලා. හොඳ පොත් නිතර නිතර අපි ආශ්‍රය කල යුතුයි. මම මූල්‍යමය අතින් දුප්පතෙක්. සමහර වෙලාවට මට තෝරාගැනීම් කරන්න සිදුවෙලා තියනවා. ඇතැම් වෙලාවල් තියනවා මම හොඳ කලිසමක් මිලදී ගැනීම අත්හැරදාලා ඒ මුදලින් පොත් කිහිපයක් මිලදී ගන්නවා. එවිට මා වඩාත් තෘප්තිමත්.

ඉතින් අන්න ඒ වගේ අපි මූනදෙන යම් ගැටලුකාරී තත්වයන් ලඟ මම හිතනවා මේ මූනු පොත හොඳ විකල්පයක්. අපිට අවශ්‍යය නම් කියවීම සඳහා මහා පරිමාන පුස්තකාලයක් මේ මුහුණුපොත.

ඉතින් එහෙමනම් ඇයි අපි එහි නරක පැත්ත විතරක් දකින්නේ ? අපි ධනාත්මකව හිතමු. මත්ද්‍රව්‍යක් වශයෙන් භාවිතා කරන “කන්සා” පවා නිසි වෛද්‍ය උපදෙස් මත නිසි මාත්‍රාව ලබාගන්නේනම් එය “ඖෂදයක්” නේද ? එතකොට වරද කොතැනද ? කන්සා වලද නැත්නම් එය භාවිතා කරන අප ලඟද ?

දැන් දැන් කවිය වාණිජ පරමාර්ථ වල සිර වෙමින් සිරගත වෙමින් ඉන්නවා කියලා කිව්වොත් ඔබ දෙන උත්තරය.

උත්තරය දුක හිතෙනසුළුයි !
එයත් ප්‍රශ්නයක්මයි.,
“කවි පොතක මිළ කීයද ?”

අවසාන වශයෙන් කියන්න බලන්න ඉදිරි බලාපොරොත්තු මොනවද කියලා.

ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඊළඟ කවි පොත එන්නේ කවදාද ?

ඒකට මට දෙන්න තියන උත්තරය ඒය කිසිසේත්ම නිශ්චිත නැහැ. බොහෝවිට එය සිදු නොවන්නත් පුළුවන්. යම්හෙයකින් එය සිදුවුනත් එයට අවමයෙන් තව අවුරුද්දක් හෝ දෙකක කාල පරාසයක් අනිවාර්යයෙන්ම තියේවි.

අනික තමයි මගේ “එතැන මා තනිවම නිදනතැන” කවි පොතේ දෙවැනි මුද්‍රණය. එය සන්ථව ප්‍රකාශනයක්. ඔවුන් සූදානම් වෙනවා එහි දෙවැනි අදියරට. මොකද පොත ගන්න බැරි වුනු බොහෝදෙනෙක් එය මගෙන් විමසනවා. අදාල අවශ්‍යතාවය සපුරාගැනීම ඉලක්ක කරගත් ඉතා අඩු පිටපත් සංඛාවක් මුද්‍රණයට යොමු කිරීම තමයි මගේ අදහස. නැතිව මට එතන වානිජ පරමාර්ථයක් නෑ.

මොකද මම පොත මුද්‍රණයෙන් බලාපොරොත්තු උනේ මානසික තෘප්තියක් පමනයි. මම එය හිතුවාටත් වඩා දැඩිව විඳගත්තා. ඉතින් මම ඒ සම්බන්ධව සතුටින්.

කතාබහේ අවසානයට යොමුවෙමින් මගේ ආදරණිය පාඨකයාට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

මෙතෙක් කලක් මා වටා ඉඳිමින් මාව දැනුවත් කරමින්, දිරිමත් කරමින් ලයික්එකක් හෝ කමෙන්ට් එකක් තබමින්, මැසේජ් එකක් ලබාදෙමින් ඔවුන් මට දැක්වූ ආදරයට මම පෙරලා ආදරයම පුදනවා. ඇත්තටම ඔවුන් නැත්නම් මම අද මෙතන නෑ.

ඒ අතරම මේ ගමන පුරා මට සෙවනැලලක් වුණු දයාබර මිනිසුන් කිහිපදෙනාට මම පින් පුරනවා. නම් වශයෙන් කියන්නෑ. මොකද එක අතපසුවීමක් බොහෝ සිත්තැවුල් සදාවි !

එමෙන්ම, මේ කතා බහට මා කැඳවූ ඔබටත් ඔබ ආයතනික සමස්ථ කාර්යයමණ්ඩලයටත් මෙය කියවන සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.
ආදරෙයි. -දඩබ්බරයා-

හිල්මි සුපුන්

leave a reply