Breaking News

රෝයල් පාර්ක් මිනීමැරුම – ජූඩ් ශමන්තට ලබාදුන් දඬුවම ක්‍රියාත්මක වෙයිද?

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රොයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බල රහිත බව තීන්දුවේ සඳහන් විය.

එයට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. එසේම අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් හිටපු ජනාධිපතිවරයාට තවත් නියෝගයක් නිකුත් කෙරිණි.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කර ඇත.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග ප්‍රකාශයට පත් කර තිබේ.

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබුණි.

කොළඹ මහාධිකරණය විසින් නියම කළ එම දඬුවම ප්‍රමාණවත් නොමැති බවත් එබැවින් ඔහුට නීතියෙන් නියම කර තිබෙන ආකාරයට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අතර තමන්ට නියම වී ඇති සිරදඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූඞ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු විසින්ද අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇපල් පෙත්සම් දෙක විභාග කළ අභියාචනාදීකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පැනවූ වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම අහෝසි කොට මරණීය දණ්ඩනය නියම කිරීමට තීන්දු කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළත් එම ඇපෑල නිෂ්ප්‍රභ කරමින් විත්තිකරුට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කර අදාළ විත්තිකරු නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

එහෙත් විදේශයකට පලා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැති විත්තිකරු සම්බන්ධයෙන් මතුවන තත්ත්වය කුමක්දැයි, මෙම නඩු තීන්දුව ප්‍රකාශ වීමෙන් අනතුරුව බොහෝ දෙනා තුළ ගැටලුවක් මතුවී තිබේ. දැනට මෙම පුද්ගලයා ජීවත්වන බව වාර්තා වන්නේ සිංගප්පූරුවේයි. ඔහු ගෙන්වා ගන්නේ නම් උදර්පණ නීතිය බාවිතා කළ යුතුයි. නමුත් ඒ සඳහා බොහෝ කාලයක් ගතවන අතර ඒ සඳහා සිංගප්පූරු රජයද එකඟ විය යුතු වේ.

leave a reply