Breaking News

අපි ක්‍රියාත්මක කරන්නේ මානුෂීය ධනවාදය – සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය බවත් මානුෂීය ධනවාදය එය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවිට සමගි ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායකයා
පවසා ඇත.

සජිත් ප්‍රේමදාස 14 ඉරිදා මාතර පැවැති සමගි ජන බලවේග ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්විමේ Blue Print වැඩසටහනට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සජබය සහ එජාපය අතර විශාල වෙනසක් පවතින බවත් මෙම පක්ෂ දෙක කිසිසේත්ම එකක් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

සමාජවාදය යැයි කියා ගන්නා රටවල ඇත්තෙන්ම සමාජවාදය ක්‍රියාත්මක නොවන බව පවසන විපක්ෂ නායකයා, සමාජවාදී, කොමියුනිස්ට්, සමසමාජවාදී යැයි කියන රටවල් උග්‍ර ධනවාදය ක්‍රියාත්මක කරන බවත් චීනය තුළ ඇමෙරිකාවටත් වඩා ධනවාදය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කර ඇත.

සමාජවාදය මාර්ගයෙන් රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බැවින් ධනවාදය ඊට මාර්ගය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

leave a reply